
මනුෂ්‍යත්වයෙන් ඉහළ රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝකයට හඳුන්වා දෙනවා – ජනපති
ලෝකයේ මනුෂ්‍යත්වයෙන් ඉහළම රටක් ලෙස ශ්‍රී ලංකාව ස්ථාපිත කිරීම තම ආණ්ඩුවේ ප්‍රධාන අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අද (08) කොළඹදී පැවති ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. ලෝකයේ කොතැනක යුද්ධයක් ඇතිවුවත් මනුෂ්‍යත්වයේ කොඩිය ඉදිරියට ගෙනයන ජාතියක් ලෙස ශ්‍රී ලාංකීය ජනතාව ලෝකයට හඳුන්වාදීම තමන්ගේ අපේක්ෂාව බවද ඔහු පැවසීය.
ලෝකයේ බොහෝ දියුණු රටවල් තිබුණද ශ්‍රී ලංකාව කුමන ආර්ථික අභියෝගවලට මුහුණ දුන්නද මනුෂ්‍යත්වයෙන් පිරි ජනතාව ජීවත්වන රටක් ලෙස ලෝකය හඳුනාගත යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
එමෙන්ම සියලු ජනතාවට බේදයකින් තොරව සහකම්පනයෙන් සලකන රාජ්‍යයක් නිර්මාණය කිරීමේදී මෙරට දරුවන් සහ කාන්තාවන්ට විශේෂ ස්ථානයක් හිමිවන බවද ඔහු පැවසීය.
එම වගකීම ඉටුකිරීමට ජාතික ජන බලවේගය (NPP) නියෝජනය කරන කාන්තාවන් ලබාදෙන දායකත්වය පිළිබඳවද ජනාධිපතිවරයා ස්තූතිය පළ කළේය.
“මම හිතනවා අපි ආණ්ඩුව හදනකොට සුවිශේෂි කාර්යයක් මෙතන ඉන්න සහෝදරියෝ විසින් ඉටුකළා. ඒ වගේම මෑත ඉතිහාසයේ කාන්තාවන් විශාල ප්‍රමාණයක් එක තැනකට එක්වුණ පළමු අවස්ථාව මෙයයි…මා හිතනවා ආණ්ඩුවක් සහ පාලනය හොඳ ද කියලා මනින් තියෙන හොඳම නිර්ණායකය තමා ඒ රටේ කාන්තාව මොනතරම් ප්‍රමාණයකින් ආණ්ඩුවත් එක්ක ඉන්නවාද කියන සාධකය. අද මේ පෙන්නුම් කරන්නේ අපේ පාලනය පිළිබඳව අපේ ආණ්ඩුකරණය පිළිබඳව මේ රටේ තියෙන පොදු විශ්වාසයේ සංකේතයක් ලෙස ඔබ දහස් ගණනක් මේ අවස්ථාවට එක්වෙලා ඔප්පු කරලා තියෙනවා.
අපේ අභිප්‍රාය කුමක් ද ? මේ ඉකිගසන ගැහැණුන් වෙත මහා දුක, වේදනාව විශාල බරක් තමන්ගේ හිස මත, තමන්ගේ හදවත තුළ දරාගෙන ඉකිගසන ගැහැණුන් හැමදෙනාටම සිනාමුසු අනාගතයක් නිර්මාණය කිරීමට අපි වැඩකරමින් ඉන්නවා…අපේ අනාගතය නිර්මාණය කළ හැකි වන්නේ සමස්තයක් ලෙස රට, ජාතියක් ලෙස අපි ඉහළට එසවෙන්නේ කෙසේ ද ? යන සමස්ත වැඩපිළිවෙල තුළ කාන්තාවන්ට අනන්‍යවූ ප්‍රශ්න, ඇය ඇයවීම නිසා මුහුණදෙන ගැටලු පිළිබඳව අපි අවධානය යොමු කරමින් අපි අවධානය යොමු කරමින් සැලසුම් සකස් කර තිබෙනවා.”
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ අද වනවිට මත්ද්‍රව්‍ය ව්‍යවසනය තරුණ පරපුරට බරපතළ අභියෝගයක් වී ඇති බවයි. එම තත්ත්වය හේතුවෙන් මව්වරුන් විශාල භීතියකට මුහුණ දෙන බවද ඔහු පැවසීය.
තම දරුවා මත්ද්‍රව්‍යවලට ගොදුරු වීම මවකට දැඩි වේදනාවක් ගෙන දෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා, එවැනි තත්ත්වයන් නිසා පවුල් සහ සමාජය තුළ මව්වරුන් අසරණ වන බවද කියා සිටියේය. ඒ හේතුවෙන් විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා රජය අඛණ්ඩව වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත්, එම ව්‍යවසනය සම්පූර්ණයෙන් අවසන් කිරීම රජයේ අරමුණ බවත් ඔහු පැවසීය.
මව්වරුන්ගේ ප්‍රධාන බලාපොරොත්තුව තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එම නිසා දරුවන්ගේ අධ්‍යාපන බර මව්වරුන්ගෙන් ඉවත් කිරීමට රජය පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.
ලබන වසරේ සිට 6 වන ශ්‍රේණියේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්, සහකම්පනය සහ සමාජ වගකීම ඇති දරුවන් බිහිකළ හැකි අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.
එමෙන්ම කාන්තාවන්ට ණය ලබාගැනීමට දේපොළ නොමැති අවස්ථාවලදී ආණ්ඩුව විසින් අවශ්‍ය සහතික ලබාදීමට වැඩසටහනක් සකස් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
තවද එම ණය ගෙවීමට කාන්තාවන්ට අපහසු වුවහොත් එය රජය විසින් ගෙවාදමන වැඩපිළිවෙළක්ද සලකා බැලෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ක්ෂුද්‍ර මූල්‍ය ණයවල අධික පොලී හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් බොහෝ දෙනෙක් දැඩි ආර්ථික පීඩාවට ලක්ව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. එම තත්ත්වය නිසා ඇතැම් කාන්තාවන් ජීවිතක්ෂයට පවා පත්ව ඇති බවත්, ග්‍රාමීය කාන්තාවන් මෙම ණය උගුලේ ගොදුරු වී ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.
එවැනි තත්ත්වයන්ගෙන් කාන්තාවන් මුදා ගැනීම සඳහා නව නීති සම්පාදනය කරන බවත්, ඒ සමඟම සහන පොලී යටතේ ණය ලබාදීමේ වැඩසටහනක් ආණ්ඩුව ආරම්භ කරන බවත් ඔහු අවධාරණය කළේය.
“විශේෂයෙන්ම කාන්තා අමාත්‍යාංශය හරහා, ආධාර වැඩසටහනක් තියෙනවා. ඇයට ණයක් කිසිසේත්ම දරාගන්න බැරි නම්, ඇයට ආර්ථික හැකියාවක් නෑ කියා ඇයව ආර්ථිකයෙන් පිටමං කළ යුතුද ? එහෙම බෑ. ආර්ථික හැකියාවක් නැති කෙනා කොහොමද අපි ආර්ථිකයේ පංගුකාරයින් කරගන්නේ කියලා මූල්‍ය ආධාර වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරා මේ වසරේත් ලබන වසරේ එය තවත් ශක්තිමත් කරලා ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවා.”
කාන්තා හිංසනය සමාජයේ ඉහළ යමින් පවතින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
කාන්තාවන්ගේ ආරක්ෂාව සඳහා පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති සම්පාදනය කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.
“අපි විශ්වාස කරනවා කාන්තා දිනය සමරන මොහොතේ දී දීර්ඝ කාලයක් වේදනාව, දුක හදවතට ගත්තු හිසට බරක් බවට පත්කරගත්තු, අපේ රටේ ගැහැණියට ඒ බරින් නිදහස් කරන, නව අනාගතයක් නිර්මාණය කරන අරමුණින්. අපි වැඩකරනවා.”
තවද, යම් සංස්කෘතික හේතු නිසා කාන්තාවන් පීඩාවට ලක්වන අවස්ථා ද පවතින බවත් එවැනි තත්ත්වයන්ට විසඳුම් සපයමින් කාන්තාවන් නිදහස් කරගැනීමට නව නීති හඳුන්වාදීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
එම ක්‍රියාමාර්ග සංස්කෘතික ගැටුම් ඇති නොවන අයුරින් ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



