ප්‍රධාන පුවත්

එජාපයෙන් පොලීසියට නීතිවිරෝධී වත්කම් නිවේදනය ගැන ඉල්ලීමක්

නීතිවිරෝධී වත්කම් නිවේදනය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොලීසියෙන් ඉල්ලීමක් කර තිබේ.

නීතිවිරෝධී ලෙස උපයාගත් වත්කම් හෝ අසාමාන්‍ය සුඛෝපභෝගී ජීවන රටාවක් ගතකරන පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස පොලීසිය විසින් පසුගිය ජූලි 09 වනදා නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් එජාපය මෙම ඉල්ලීම සිදුකර ඇත.

නිසි මාර්ගෝපදේශ නොමැතිව නිකුත් කර ඇති මෙම ප්‍රකාශය හේතුවෙන් ග්‍රාමීය ජනතාව අනවශ්‍ය බියකට හා අපහසුතාවලට පත්වීමේ අවදානමක් පවතින බව එම පක්ෂය පෙන්වා දෙයි.

පොලීසියේ ප්‍රධාන වගකීම වන්නේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම, නීතිවිරෝධී ක්‍රියා සිදුකරන පුද්ගලයන් නීතිය හමුවට ගෙන ඒම සහ සාමකාමී පරිසරයක් පවත්වාගෙන යාම බවත්, මෙම නිවේදනය මගින් එම මූලධර්මවලට බලපෑමක් ඇතිවිය හැකි බවත් එජාපය සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ වත්කම් බද්දක් ක්‍රියාත්මක නොවන බවත්, විදේශ රැකියා ඇතුළු නීත්‍යානුකූල ආදායම් මාර්ග හරහා බොහෝ ජනතාව වත්කම් ගොඩනගා ඇති බවත් එම පක්ෂය පවසයි.

එමෙන්ම බදු ක්‍රමවේද පිළිබඳ අවබෝධය අඩුවීම හේතුවෙන් ඇතැම් පුද්ගලයන් තම වත්කම් නිසි ලෙස ප්‍රකාශ කර නොතිබීමට හැකි බවද එජාපය පෙන්වා දෙයි.

පැහැදිලි නීත්‍යානුකූල ආදායම් මාර්ගයක් නොමැතිව උපයාගත් වත්කම් හඳුනාගැනීම සඳහා නිශ්චිත ක්‍රියාපටිපාටියක් අවශ්‍ය බවත්, එසේ නොමැතිව මෙවැනි ක්‍රියාමාර්ග මහජනතාවට හිරිහැරයක් විය හැකි බවත් පක්ෂය අවධාරණය කරයි.

මෙවැනි නිවේදනයක් නිකුත් කිරීමට පෙර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර පැහැදිලි මාර්ගෝපදේශ සකස් කළ යුතුව තිබූ බවද එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඒ අනුව, වත්මන් නිවේදනය ඉවත් කර ජනතාවට අපහසුතාවක් ඇති නොවන පරිදි වඩාත් පැහැදිලි හා නිශ්චිත ප්‍රකාශයක් නිකුත් කරන ලෙස පොලීසියෙන් ඉල්ලා සිටින බව එජාපය පවසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button