
2026 අපනයන ආදායම ඩොලර් බිලියන 7.3 ඉක්මවයි
2026 වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 7,393.39ක් දක්වා ඉහළ ගොස් ඇති බව නවතම දත්තවලින් අනාවරණය වී තිබේ.
ශ්‍රී ලංකා රේගුව නිකුත් කළ තාවකාලික සංඛ්‍යාලේඛන සහ මැණික්, ස්වර්ණාභරණ හා ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා වූ ඇස්තමේන්තු අනුව, මෙම අගය පසුගිය වසරේ අනුරූප කාලසීමාවට සාපේක්ෂව සියයට 7.56ක වර්ධනයක් පෙන්නුම් කරයි.
එම කාලය තුළ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5,758.44ක් ලෙස වාර්තා වී ඇති අතර, එය සියයට 7.63ක වර්ධනයකි.
මේ අතර, සේවා අපනයන ආදායමද ඇමරිකානු ඩොලර් මිලියන 1,634.95ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2025 වසරට සාපේක්ෂව සියයට 7.31ක වැඩිවීමක් ලෙස සඳහන් වේ.
2026 මැයි මාසය තුළ පමණක් වෙළඳ භාණ්ඩ අපනයන අගය සියයට 18.25කින් සහ සේවා අපනයන අගය සියයට 18.67කින් වර්ධනය වී ඇති බව ද අදාළ වාර්තාවෙන් පෙන්වා දෙයි.



