
අක්වාන් සුළි කුණාටුව ප්‍රබල වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්
අක්වාන් සුළි කුණාටුව ප්‍රබල තත්ත්වයට වර්ධනය වීමත් සමඟ මුහුදු ප්‍රදේශ කිහිපයක් සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
අක්වාන් සුළි කුණාටුව හේතුවෙන් ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙස උපදෙස්
බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහාත්, කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ සඳහාත් මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වේ.
ගිනිකොනදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අක්වාන් සුළි කුණාටුව ඊයේ (17) පස්වරු 5.30 වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 630ක් පමණ දුරින් පිහිටා තිබූ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම අවස්ථාවේදී සුළි කුණාටුව උතුරු අක්ෂාංශ 12.3° සහ නැගෙනහිර දේශාංශ 85.6° ආසන්නයේ කේන්ද්‍රගතව පැවතිණි.
මෙම කාලගුණ පද්ධතිය සෙමින් උතුරු-වයඹ දෙසට ගමන් කරමින් අද (18) අලුයම 5.30 පමණ වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වීමට ඉතා ඉහළ ඉඩකඩක් පවතින බව එම දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබේ.
ඉන් අනතුරුව එය වයඹ දෙසට තවදුරටත් ගමන් කරමින් හෙට (19) පස්වරු 5.30 පමණ වන විට ඉතා ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවද සඳහන් වේ.
එම ගමන් මාර්ගය අනුව නොවැම්බර් 20 වනදා පෙරවරු 11.30 පමණ වන විට ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස ආන්ද්‍රා ප්‍රදේශ් සහ යනාමි වෙරළ අතරින් ඉන්දියාවට ඇතුළු වීමට ඉඩ ඇති බව කාලගුණ අනාවැකියේ දැක්වේ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් උතුරු අක්ෂාංශ 06ත් 19ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල මෙන්ම කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය, මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශවලද නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවික කටයුතුවල නිරත නොවන ලෙස දැනුම් දී ඇත.
එම මුහුදු ප්‍රදේශවල දැනටමත් ධීවර හා නාවික කටයුතුවල නිරතව සිටින පිරිස් ආරක්ෂිත ස්ථාන කරා යාත්‍රා කරන ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී තිබේ.
එමෙන්ම සුළි කුණාටුව සම්බන්ධයෙන් ඉදිරියේදී නිකුත් කෙරෙන කාලගුණ අනාවැකි සහ නිල නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර ඇත.
මේ අතර දිවයිනේ කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් නිකුත් කර ඇති අනාවැකියට අනුව ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ස්ථාන කිහිපයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
තවද දිවයිනේ බොහෝ ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්ව ආරක්ෂක පියවර ගන්නා ලෙසද ජනතාවට දැනුම් දී තිබේ.



