ක්‍රීඩා

කාන්තා ආසියානු කුසලාන අවසන් සටන අද ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර

කාන්තා ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව තීරණය කරන අවසන් මහා තරගය අද (13) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතය.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වේ.

මෙවර තරගාවලියේ මේ දක්වා අපරාජිතව සිටින කණ්ඩායම් දෙකම අවසන් තරගයට පැමිණීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ ‘බී’ කාණ්ඩය යටතේ තරග කරමින් බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දුනීසියාව පරාජය කර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. එහිදී පාකිස්තානය පරාජය කරමින් අවසන් මහා තරගයට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

‘ඒ’ කාණ්ඩයෙන් තරග කළ ඉන්දියාව පාකිස්තානය, තායිලන්තය සහ හොංකොං පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසියේය. අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශය පරාජය කරමින් ඉන්දියාව අවසන් තරගයේ ස්ථානය තහවුරු කර ගත්තේය.

ශ්‍රී ලංකාව තරගාවලියේ වත්මන් ශූරියන් ලෙස අද තරගයට එක්වන අතර, 2024 වසරේ ශ්‍රී ලංකාවේ පැවැති තරගාවලියේ අවසන් තරගයේදී ඉන්දියාව පරාජය කරමින් ඉතිහාසයේ පළමු ආසියානු කුසලාන ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

2004 වසරේදී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් එක්දින තරගාවලියක් ලෙස ආරම්භ වූ කාන්තා ආසියානු කුසලාන තරගාවලිය 2012 වසරේ සිට විස්සයි20 ආකෘතිය යටතේ පැවැත්වෙයි.

ඉන්දියාව මෙම තරගාවලියේ සාර්ථකම කණ්ඩායම වන අතර මේ දක්වා ශූරතා 7ක් දිනා තිබේ. 2004 සිට 2016 දක්වා පැවැති තරගාවලි හයේදීම අඛණ්ඩව ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව සමත්ව ඇත.

ශ්‍රී ලංකාව එක් ශූරතාවක් සහ අනුශූරතා 5ක් සමඟින් තරගාවලි ඉතිහාසයේ දෙවැනියට සාර්ථකම කණ්ඩායමයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට අමතරව ශූරතාවක් දිනා ඇති එකම කණ්ඩායම වන්නේ 2018 වසරේදී ශූරතාව හිමිකරගත් බංග්ලාදේශයයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button