
සපුගස්කන්ද තෙල් පිරිපහදුව මාස 9කදී ඩොලර් මිලියන 417ක ලාභයක් උපයයි
සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය මාස නවයක කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 417ක ලාභයක් උපයා ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ලාභය සහ ඉන්ධන මිල අඩුවීමේ වාසිය ගැන සභාපතිවරයාගෙන් ප්‍රකාශයක්
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේ සඳහන් කළේය.
“තෙල් සංස්ථාවට සපුගස්කන්ද පිරිපහදුව තිබුණේ නැහැ. කැබිනට් අනුමැතියක් අරන්, තෙල් සංස්ථාවෙන් අයින් කරලා ගලවලා තිබුණේ. එතකොට අන්න ඒ පිරිපහදුව මේ මුල් මාස නමය ඇතුළේ අපිට ලාභ පෙන්නලා තියෙනවා ඩොලර් මිලියන 417ක්. වහලා දාන්න හිටපු පිරිපහදුව මේ මාස නමය ඇතුළේ ඩොලර් බිලියනයකට වැඩි ප්‍රමාණයක් රටේ ඩොලර් ඉතුරු කරලා තියෙනවා. මේ අර්බුදය පැවැත්වෙද්දී අපි මුල් මාස නමය රුපියල් බිලියන 28ක ලාභයක් ලබාගෙන තියෙනවා. අපි සැලැස්මකට යන්නේ. මේ අවුරුද්ද අවසන් වන විට අපි 28යි 30 අතර ලාභයක් අපි බලාපොරොත්තු වෙනවා.”
මේ අතර, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යාමේ වාසිය ඉදිරියේදී මෙරට ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ද ඩී.ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.
ලෝක වෙළෙඳපොළේ මිල වෙනස්වීම් පිළිබඳව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත්, එම මිල අඩුවීමේ වාසිය ලැබුණු වහාම ජනතාවට ලබාදීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සභාපතිවරයා මෙසේ පැවසීය.
“ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වෙනවා කියන එක වාර්තා වෙන්න පටන් ගත්තේ පෙරේදා ඉඳලා. නමුත් ඊට ඉස්සෙල්ලා දිගටම ගියේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල දිගින් දිගටම වැඩි වෙනවා කියලා. ඒ වාසිය දෙන්න වෙන්නේ ඉදිරියේදී තමයි. අපි සමීපව නිරීක්ෂණය කරමින් ඉන්නවා. ඒ වාසිය හම්බ වෙච්ච ගමන් අපි දෙනවා. පෙබරවාරියට සාපේක්ෂව ඇත්තම ගත්තොතින් අපිට තිබුණේ පෙට්‍රල් තිබුණේ 292කට. ඒක දැන් තියෙන්නේ 424කට. 45ට වැඩිවීමක්. ලෝක වෙළෙඳපොළේ මිල 85කින් වැඩි වෙනකොට දේශීය වෙළෙඳපොළේ අපි වැඩි වෙලා තියෙන්නේ 45යි. ඔටෝ ඩීසල් ගත්තොත් 281ට තිබුණේ. දැන් 397යි. ඒකේ වැඩිවීම 43යි. එතකොට පැහැදිලිවම පේනවා ලෝක වෙළෙඳපොළේ මිලට සාපේක්ෂව ගත්තොතින් අපි දේශීය වෙළෙඳපොළේ මිල අපි වැඩි වෙලා නැහැ. ඒක හැකියාව ලැබුණේ අප්‍රේල්, මැයි, ජූනිවලට ආණ්ඩුවෙන් දුන්නා සහනාධාරයක්. ඩීසල් ලීටරයකට රුපියල් 100ක් දුන්නා. පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක් දුන්නා. ඩීසල් ලීටරයකට ගිය මාසයේ රුපියල් 70ක් සහනාධාරයක් ආණ්ඩුවෙන් ලබා දෙනවා. මේ මාසයෙත් රුපියල් බිලියන 41ක් වෙන් කරලා තියෙනවා. ඒ සහනාධාරයත් එක්ක තමයි ඇත්තම ලෝක වෙළෙඳපොළ මිලට වඩා භාගෙට භාගයක් වගේ අඩුවෙන් අපි තියාගෙන යන්නේ.”
ඒ අනුව, සපුගස්කන්ද පිරිපහදුවේ ලාභදායීත්වය සහ ඉන්ධන මිල සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය.



