
ලෝක අලි දිනය අදට යෙදී තිබේ
ලෝක අලි දිනය අදට (12) යෙදී තිබේ. පාරිසරික පද්ධතියේ සුවිශේෂී සංකේතයක් මෙන්ම ජෛව විවිධත්වයේ වැදගත් පුරුකක් වන වනඅලීන්ගේ ආරක්ෂාව සහ පැවැත්ම සම්බන්ධයෙන් ලෝක අවධානය යොමුව ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.
වසර ගණනාවක් පුරා මෙරට සිදුවූ අක්‍රමවත් සංවර්ධන කටයුතු හේතුවෙන් වනඅලීන්ගේ සංචරණ මාර්ග සහ අලි මංකඩ අවහිර වීමෙන් පාරිසරික ගැටලු රැසක් මතුව ඇති බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මේ අතර, වර්තමානයේ වනඅලීන් මුහුණ දෙන තර්ජන සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ හේමන්ත විතානගේ මහතා අදහස් දක්වා තිබේ.
ඔහු සඳහන් කර ඇත්තේ මෙරට වාර්ෂිකව වනඅලි 400කට වැඩි සංඛ්‍යාවක් මියයන අතර, අලි මිනිස් ගැටුම් හේතුවෙන් මිනිස් ජීවිත 200කට ආසන්න සංඛ්‍යාවක්ද අහිමි වන බවයි. මේ වසරේ මේ දක්වා වනඅලි මරණ 180ක් සහ මිනිස් මරණ 56ක් වාර්තා වී ඇති බවද ඔහු සඳහන් කළේය.
එම වනඅලි මරණ අතරින් මරණ 75ක් පමණ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුව ඇති බවත්, වෙඩි තැබීම් හේතුවෙන් අලි 30කට ආසන්න සංඛ්‍යාවක්ද, විදුලිය භාවිත කිරීමෙන් 23ක්ද, හක්කපටස් හේතුවෙන් 19ක්ද මියගොස් ඇති බවත් ඔහු පෙන්වා දී තිබේ.
අලි මිනිස් ගැටුම තවදුරටත් උග්‍ර වීමට ප්‍රධාන හේතුවක් ලෙස මිනිසුන් සහ වනඅලීන් මෙරට භූමි ප්‍රමාණයෙන් සියයට 40කට වැඩි ප්‍රමාණයක එකට වාසය කිරීමද ඔහු සඳහන් කර ඇත. එම ගැටුමට විසඳුම් ලබාදීම සඳහා තම සංවිධානය යෝජනා කර ඇති විධිමත් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු අවධාරණය කර තිබේ.
මේ අතර ඊයේ (11) සවස අඹන්පොල පොලිස් වසමේ නැලව ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් ඇති බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මියගොස් ඇත්තේ අඹන්පොල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි. තම කුඹුරට පැමිණි වනඅලීන් පළවා හැරීමට උත්සාහ කිරීමේදී ඔහු වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.



