කාලගුණය

අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් වෙයි – තද වැසි අවදානමක්

 

අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර, ඉදිරි දිනවලදී එය සුළි කුණාටුවක් දක්වා තීව්‍ර වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති මෙම පද්ධතිය ඊයේ (24) රාත්‍රී 11.30 වන විට උතුරු අක්ෂාංශ 15.5° සහ නැගෙනහිර දේශාංශ 91.0° ආසන්නයේ කේන්ද්‍රගතව පැවති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අද (25) දිනයේදී මෙම පද්ධතිය බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොනදිග මුහුදු ප්‍රදේශය හරහා ගමන් කරමින් ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වීමට ඉහළ සම්භාවිතාවක් පවතී.

තවදුරටත් බටහිර-වයඹ දෙසට ගමන් කිරීමට අපේක්ෂිත මෙම පද්ධතිය හෙට (26) උදෑසන වන විට සුළි කුණාටුවක් බවටත්, ඔක්තෝබර් 27 උදෑසන වන විට බෙංගාල බොක්කේ බටහිර-මධ්‍යම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රබල සුළි කුණාටුවක් බවටත් තීව්‍ර විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මෙම පද්ධතියෙන් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් නොමැති වුවද, එය වෙත ඇදී යන සුළං ප්‍රවාහය දිවයින හරහා පවතින බැවින් ඉදිරි දින කිහිපයේදී නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වය වැඩි විය හැකිය.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු පළාත්වලටත් මහනුවර, නුවරඑළිය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන් වේ.

ඌව පළාතේ මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලද පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40–50ක පමණ තද සුළං ඇති වීමේ හැකියාවද පවතී.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button