කාලගුණය

අඩුපීඩන බලපෑමෙන් තවදුරටත් වැසි

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටි අඩුපීඩන කලාපය තවදුරටත් දිවයින ආසන්න මුහුදු ප්‍රදේශයේ සක්‍රීයව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම පද්ධතියේ බලපෑම හේතුවෙන් මේ වනවිට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළද දිගටම පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර, විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්ය.

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ, උතුරු පළාත් සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ලැබීමේ හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බැවින් ජනතාව අවශ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාලගුණ අංශය දැනුම් දෙයි.

මෙම කාලගුණ පද්ධතියේ බලපෑමෙන් ඉදිරි දිනවලදී දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය ද ඉහළ යා හැකි බව අනතුරු අඟවා තිබේ.

ධීවර හා නාවික ප්‍රජාව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නවතම නිවේදන සහ අනාවැකි පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කළ යුතු බව ද සඳහන්ය.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, සුළං බස්නාහිර දිශාවෙන් හෝ වෙනස්වන දිශාවන්ගෙන් පැ.කි.මී. 25-35ක පමණ වේගයෙන් හමනු ඇත.

ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින්විට පැ.කි.මී. 50 දක්වා ඉහළ යා හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින්විට රළු විය හැකි බවද නිවේදනය කර ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button