ප්‍රධාන පුවත්

2026දී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බව මහ බැංකුව අනාවරණය කරයි

2026 වසර තුළ ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන සඳහා වැය වන මුදල සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කරයි. මැද පෙරදිග කලාපයේ පවතින භූ-දේශපාලනික අර්බුද සහ ගෝලීය තෙල් වෙළඳපොළේ අස්ථාවර තත්ත්වය හේතුවෙන් ඉදිරි කාලය තුළ තෙල් මිල ඉහළ මට්ටමක පවතිනු ඇති බවට අපේක්ෂා කෙරේ.

මහ බැංකුව සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවේ සමස්ත ආනයන වියදමෙන් විශාල කොටසක් ඉන්ධන සඳහා වැය වන අතර, පසුගිය දශකය තුළ සාමාන්‍යයෙන් එය මුළු ආනයන වලින් සමානව 20%ක් පමණ වන බවයි.

එහෙත් 2025 වසරේදී බොරතෙල් සහ පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයන ප්‍රමාණය ඉහළ ගියද, සමස්ත වියදම 2024 වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 4.4 සිට 2025 වසරේදී බිලියන 4ක් දක්වා පහළ වැටී තිබේ. එයට ප්‍රධාන හේතුව වන්නේ බොරතෙල්, පිරිපහදු කළ තෙල් සහ ගල් අඟුරු මිල පහළ යාමයි.

ඒ සමඟම, බොරතෙල් බැරලයක සාමාන්‍ය ආනයන මිල 2024දී ඇමරිකානු ඩොලර් 84.7 සිට 2025දී ඩොලර් 73.2 දක්වා අඩු වී ඇති බව ද වාර්තා වෙයි.

දේශීය වෙළඳපොළ තුළ, පිරිවැය පදනම් කරගත් මිල සංශෝධන ක්‍රමවේදය 2025 වසර පුරා ක්‍රියාත්මක වූ අතර, එය ගෝලීය මිල වෙනස්වීම් සෘජුවම දේශීය මිල ගණන් වෙත පිළිබිඹු වීමට ඉඩ සලසා තිබේ.

ඒ අනුව, 2024 අවසානය සමඟ සසඳන විට 2025 අවසානය වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි කරන පෙට්‍රල් 92, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල පිළිවෙළින් රුපියල් 15, 9 සහ 8කින් අඩු වී ඇත.

තවද, ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වීමත් සමඟ 2025 වසර තුළ ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවිය 7.4%කින් වැඩි වී තිබේ.

කෙසේ වෙතත්, මැදපෙරදිග ප්‍රදේශයේ උද්ගත වූ යුද තත්ත්වයන් හේතුවෙන් ඇති වූ පීඩනයට ප්‍රතිචාර වශයෙන්, 2026 මාර්තු මාසයේදී සාමාන්‍ය මිල සංශෝධන ක්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන මිල සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමටද පියවර ගෙන ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button