
පළාත් සභා ඡන්ද කාරක සභාවෙන් විපක්ෂය ඉවතට
පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා පත් කර ඇති පළාත් සභා ඡන්ද කාරක සභාවෙන් ඉදිරියේදී ඉවත් වීමට විපක්ෂය තීරණය කර තිබේ.
මෙම තීරණයට හේතු වී ඇත්තේ අදාළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය එළැඹෙන දෙසැම්බර් 17 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ගත් පියවරයි.
අද (11) පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, කාරක සභාවේ කටයුතු සඳහා තවදුරටත් කාලය අවශ්‍ය බැවින් එහි කාලසීමාව දෙසැම්බර් 17 දක්වා දීර්ඝ කළ බවය.
කෙසේ වෙතත් එම තීරණයට විරෝධය පළ කළ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පෙන්වා දුන්නේ කාරක සභාව මේ වන විට මාස නවයක පමණ කාලයක් රැස්වී ඇති බවයි.
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය කරුණු සොයා බැලීම කාරක සභාවේ අරමුණ විය යුතු නමුත්, එහි ක්‍රියාදාමය මැතිවරණය තවදුරටත් ප්‍රමාද කරන ආකාරයක් ගෙන ඇති බව විපක්ෂය පවසයි.
මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කර තිබූ බවත්, විපක්ෂ මන්ත්‍රීවරුන් ලෙස තමන් ඊට එකඟතාව පළ කර ඇති බවත් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙලෙස පැවසීය.
“මේ කාරක සභාව රැස්වෙන්න පටන් අරන් දැන් මාස 9ක් වෙනවා. මේකේ ක්‍රියාදාමය, ක්‍රියාවලිය දැක්කාම අපි දැක්කේ මේක කල් මැරීමක්. පළාත් සභා ඡන්දේ පවත්වන්න නෙමෙයි මේක කල් දාන්න කරන කරන කාරක සභාවක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මැතිවරණ කොමිෂන් සභාව මේ සඳහා යෝජනාවක් ඉදිරිපත් කළා. විපක්ෂ මන්ත්‍රීවරුන් විදිහට අපි ඒකට කැමැත්ත ප්‍රකාශ කරා. අපි කියනවා මෙවැනි කල් මැරීමේ, කාලය කා දැමීමේ කාරක සභාවට විපක්ෂය විදිහට අපි නැවත එන්නේ නැති විත්තිය.”
ඒ අනුව කාරක සභාවේ කාලය දීර්ඝ කිරීමේ තීරණයට විරෝධය පළ කරමින් විපක්ෂය එහි ඉදිරි රැස්වීම් සඳහා සහභාගී නොවීමට තීරණය කර තිබේ.



