තාක්ෂණය

Yarl Royal Palace සුවිශේෂී ව්‍යාපෘතියට BOI සමඟ ගිවිසුම්ගත වේ

උතුරේ උසම නේවාසික ගොඩනැගිලි සංකීර්ණයට ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම් අත්සන් තබයි

යාපනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත Yarl Royal Palace නේවාසික සංවර්ධන ව්‍යාපෘතිය සඳහා Tilko Blue Ocean Holdings (Pvt) Ltd. සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ ගිවිසුමකට අත්සන් තබා තිබේ.

 

මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර ඇති ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 3.52කි. ව්‍යාපෘතිය සම්පූර්ණ වූ පසු එය උතුරු පළාතේ උසම නේවාසික ගොඩනැගිලි සංකීර්ණය බවට පත්වීමට නියමිත අතර, යාපනයේ නවීන නාගරික ජීවන රටාව සඳහා නව ප්‍රමිතියක් හඳුන්වාදීම එහි අරමුණ වී ඇත.

 

යාපනයේ අංක 107, නුවර පාරේ, ඓතිහාසික ඕල්ඩ් පාර්ක් ප්‍රදේශයට මුහුණලා මෙම ව්‍යාපෘතිය ඉදිකිරීමට සැලසුම් කර තිබේ. එහි රථවාහන නැවැත්වීම සඳහා මහල් 6ක්, නේවාසික මහල් 13ක් සහ නවීන නේවාසික ඒකක 78ක් ඇතුළත් වේ.

 

නවීන පහසුකම් සහ ආකර්ෂණීය වාස්තු විද්‍යාත්මක සැලසුමකින් සමන්විත Yarl Royal Palace ව්‍යාපෘතිය යාපනයේ මෙන්ම සමස්ත උතුරු පළාතේ ආර්ථික හා නාගරික සංවර්ධනයට පෞද්ගලික අංශයෙන් සිදුකෙරෙන සැලකිය යුතු ආයෝජනයක් ලෙස සැලකේ.

 

ආර්ථික ක්‍රියාකාරකම් පුළුල් කිරීමේ අපේක්ෂාව

 

මෙවැනි මහා පරිමාණ නේවාසික සංවර්ධන ව්‍යාපෘතියක් මඟින් ඉදිකිරීම් ක්ෂේත්‍රයට පමණක් නොව ඉංජිනේරු සේවා, වෘත්තීය උපදේශන, ගොඩනැගිලි ද්‍රව්‍ය, ප්‍රවාහන හා සැපයුම්, මූල්‍ය සේවා සහ දේපළ කළමනාකරණය ඇතුළු ක්ෂේත්‍ර රැසකට ආර්ථික අවස්ථා නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

එමෙන්ම ව්‍යාපෘතිය හරහා වෘත්තීය අවස්ථා ඇති කිරීම, යාපනයේ නාගරික පරිසරය නවීකරණය කිරීම සහ දිගුකාලීන පෞද්ගලික ආයෝජන සඳහා ප්‍රදේශයේ ආකර්ෂණය ඉහළ නැංවීම අපේක්ෂා කරයි.

 

ව්‍යවසායකත්වයෙන් පිරි ජන ප්‍රජාව, වෘත්තීය හා අධ්‍යාපනික පසුබිම, සංවර්ධනය වෙමින් පවතින යටිතල පහසුකම්, නාගරික ඉඩම් සහ ලොව පුරා විසිරී සිටින ඩයස්පෝරා ප්‍රජාව සමඟ පවතින සබඳතා යාපනයේ අනාගත ආයෝජන සඳහා වැදගත් ශක්තීන් ලෙස හඳුනාගෙන තිබේ.

 

ඩයස්පෝරා ආයෝජන සඳහා අවස්ථාවක්

 

උතුරු පළාතේ ආර්ථික ශක්තියක් ලෙස ගෝලීය දෙමළ ඩයස්පෝරාව සමඟ පවතින සම්බන්ධතාව ද සැලකේ. එක්සත් රාජධානිය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, ස්විට්සර්ලන්තය සහ ජර්මනිය ඇතුළු රටවල ජීවත් වන උතුරේ සම්භවයක් සහිත ජනතාව යාපනය සමඟ පෞද්ගලික, සංස්කෘතික හා ආර්ථික සබඳතා පවත්වාගෙන යති.

 

ඒ අනුව Yarl Royal Palace ව්‍යාපෘතිය මඟින් විදේශගත පවුල්, වෘත්තිකයන් සහ ආයෝජකයන්ට යාපනයේ වර්ධනය වන දේපළ වෙළෙඳපොළ සමඟ සම්බන්ධ වීමට අවස්ථාවක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

විදේශගත පවුල් සඳහා දෙමාපියන් සහ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් නවීන නිවාසයක් ලෙසත්, වෘත්තිකයන් සඳහා මව්බිම සමඟ සම්බන්ධතාව පවත්වාගෙන යා හැකි ස්ථානයක් ලෙසත් මෙම ව්‍යාපෘතිය වැදගත් වනු ඇතැයි සඳහන් වේ.

 

යාපනයේ නව නේවාසික ප්‍රමිතියක්

 

උතුරු පළාතේ උසම නේවාසික ගොඩනැගිලි සංකීර්ණය බවට පත්වීමට අපේක්ෂිත Yarl Royal Palace මඟින් යාපනයේ නවීන නේවාසික සංවර්ධනය සඳහා නව අංගයක් එක් කිරීමට අපේක්ෂා කරයි.

 

කොළඹ සහ අනෙකුත් ප්‍රධාන නාගරික මධ්‍යස්ථානවලට සීමා වී තිබූ මහා පරිමාණ නේවාසික සංවර්ධන ව්‍යාපෘති යාපනය වැනි ප්‍රදේශයකට ව්‍යාප්ත වීම තුළින් සාම්ප්‍රදායික දේපළ වෙළෙඳපොළවලින් ඔබ්බට පෞද්ගලික ආයෝජන සඳහා ඇති හැකියාව ද පෙන්වා දෙන බව සමාගම පවසයි.

 

එමෙන්ම නවීන සංවර්ධනය සමඟ යාපනයේ අනන්‍යතාව සහ ඓතිහාසික උරුමය ආරක්ෂා කරගැනීමට ද මෙම ව්‍යාපෘතිය මඟින් අවධානය යොමු කර තිබේ.

 

උරුමය සහ නවීන සංවර්ධනය එක් කිරීම

 

ඓතිහාසික වටිනාකමකින් යුත් පැරණි උද්‍යානයට මුහුණලා පිහිටීම හේතුවෙන් Yarl Royal Palace ව්‍යාපෘතිය යාපනයේ අතීත උරුමය සහ නවීන නාගරික ජීවන රටාව අතර සම්බන්ධතාවක් ගොඩනඟන සංවර්ධනයක් ලෙස හඳුන්වා දී ඇත.

 

මෙවැනි මහා පරිමාණ ආයෝජන මඟින් කලාපය පිළිබඳ වාණිජ විශ්වාසය ඉහළ නැංවීම, තවදුරටත් පෞද්ගලික ආයෝජන දිරිගැන්වීම සහ නාගරික යටිතල පහසුකම්වල ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම සඳහා දායක විය හැකි බව සමාගම පෙන්වා දෙයි.

 

උතුරේ දිගුකාලීන ආයෝජන සැලැස්ම

 

තිරසාර කලාපීය සංවර්ධනයක් සඳහා පෞද්ගලික අංශයේ දිගුකාලීන විශ්වාසය, අඛණ්ඩ ආයෝජන සහ රාජ්‍ය ආයතන, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, ආයෝජකයන් සහ ප්‍රජාව අතර සහයෝගීතාව අවශ්‍ය බව Tilko Blue Ocean Holdings (Pvt) Ltd. සමාගම සඳහන් කරයි.

 

ව්‍යාපෘතිය ඉදිරියට සංවර්ධනය වීමත් සමඟ යාපනයට තවදුරටත් ආයෝජන ආකර්ෂණය කරගැනීමට, ගෝලීය ඩයස්පෝරා ප්‍රජාව සමඟ සබඳතා ශක්තිමත් කිරීමට සහ නව ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමට හැකි වනු ඇතැයි සමාගම අපේක්ෂා කරයි.

 

ඒ අනුව Yarl Royal Palace ව්‍යාපෘතිය හරහා උතුරු පළාතේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම සහ කලාපයට වඩාත් ශක්තිමත් ආයෝජන කේන්ද්‍රගත අනාගතයක් ගොඩනැගීමට දායක වීම සඳහා සිය දිගුකාලීන කැපවීම අඛණ්ඩව පවත්වාගෙන යන බව Tilko Blue Ocean Holdings (Pvt) Ltd. පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button