
ඉතිහාසය අලුත් කරමින් රුමේෂ්ගෙන් රන් පදක්කමක්
රුමේෂ්ගෙන් රන් පදක්කමක් හිමිවීමත් සමඟ 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට තවත් ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා විය. පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් 23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ රන් පදක්කම දිනාගත්තේ අද (01) අලුයම ස්කොට්ලන්තයේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී පැවති අවසන් තරගයේදීය.
තරගයේ දෙවැනි උත්සාහයේදී මීටර් 89.75ක විශිෂ්ට දුරක් වාර්තා කළ රුමේෂ්, එම දක්ෂතාවය මත රන් පදක්කම තමන් සතු කරගැනීමට සමත් විය.
මෙය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව දිනාගත් හයවැනි රන් පදක්කම ලෙස ඉතිහාසයට එක්වන අතර, 2006 වසරේ බර ඉසිලීමෙන් චින්තන විදානගේ දිනාගත් රන් පදක්කමෙන් වසර 20කට පසු ශ්‍රී ලංකාවට හිමි වූ පළමු රන් පදක්කම ද වේ.
2021 ඔලිම්පික් ශූර ඉන්දීය ක්‍රීඩක නීරාජ් චොප්රා මීටර් 85.83ක දුරක් වාර්තා කරමින් රිදී පදක්කම දිනාගත් අතර, ඉන්දීය ක්‍රීඩක යෂ් වීර් සිං මීටර් 85.41ක දක්ෂතාවක් සමඟ ලෝකඩ පදක්කමට හිමිකම් කීවේය.
රුමේෂ්ගේ මෙම ජයග්‍රහණයත් සමඟ 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව දිනාගත් සමස්ත පදක්කම් සංඛ්‍යාව දෙක දක්වා ඉහළ ගොස් තිබේ. ඊට පෙර පැරා කවපෙත්ත විසිකිරීම (F42-44/F61-64) ඉසව්වෙන් පාලිත බණ්ඩාර රිදී පදක්කමක් දිනාගෙන තිබුණි.



