ගොසිප්

රංජිත් පීරිස් (කසාගල සමූහ ව්‍යාපාරයේ සභාපති) සමඟ චමුදිත සමරවික්‍රම

 

රංජිත් පීරිස් (කසාගල සමූහ ව්‍යාපාරයේ සභාපති) සමඟ

චමුදිත:
මේ දිනවල බොහෝ දෙනා අතර කතාබහට ලක්ව ඇති, ආන්දෝලනාත්මක චරිතයක් අද අප සමඟ එක්ව සිටිනවා. කසාගල සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ සභාපති රංජිත් පීරිස් මහතා, ඔබට ආයුබෝවන්.

ඔබට එල්ල වී ඇති චෝදනා බරපතළයි. සමහරු ඔබ සාර්ථක ව්‍යවසායකයෙකු ලෙස හඳුන්වනවා. තවත් පිරිසක් වංචනිකයෙකු හෝ හොරෙකු ලෙස හඳුන්වනවා. ඔබ කැමති ඔබව කෙසේ හඳුන්වනවාටද?

රංජිත් පීරිස්:
මම සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක්. මගේ අරමුණ කාගෙවත් දෙයක් හොරකම් කිරීම, අනුන්ගේ දේ අත්පත් කර ගැනීම හෝ කෙනෙකු අපහසුතාවයට පත් කිරීම නොවෙයි.

චමුදිත:
කසාගල ව්‍යාපාරය ආරම්භ කළේ කුමන අරමුණකින්ද?

රංජිත් පීරිස්:
අපි මේ ව්‍යාපාරය ආරම්භ කළේ ග්‍රාමීය ජනතාව සහ විශේෂයෙන් ගොවි ජනතාව බලගැන්වීමේ අරමුණින්. අද ගොවීන්ට තම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබාගැනීමට අපහසුයි. ඒ ගැටලුවට විසඳුමක් ලබාදීම අපගේ අරමුණයි.

චමුදිත:
නමුත් ඔබ වංචනික ව්‍යාපාරයක් කරන බවට චෝදනා තිබෙනවා.

රංජිත් පීරිස්:
එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. අපි කරන්නේ කෘෂිකාර්මික ව්‍යාපාරයක්.

චමුදිත:
ඔබේ සමාගම ලියාපදිංචි කර තිබෙන්නේ කොහේද?

රංජිත් පීරිස්:
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ නිසි ලෙස ලියාපදිංචි කර තිබෙනවා.

චමුදිත:
ඔබේ ආයතනය මහ බැංකුව විසින් පිළිගත් මූල්‍ය ආයතනයක් නොවෙයි නේද?

රංජිත් පීරිස්:
නැහැ. අපි මූල්‍ය ආයතනයක් නොවෙයි. අපි රජයේ ලියාපදිංචි වැවිලි සමාගමක්.

චමුදිත:
ඔබ වගා කරන්නේ මොනවාද?

රංජිත් පීරිස්:
බෙල් පෙපර්, නයි මිරිස්, කුරුඳු, ගම්මිරිස්, එනසාල්, කරාබුනැටි ඇතුළු සුළු අපනයන බෝග වගා කරනවා.

චමුදිත:
ඔබේ වතු පිහිටා තිබෙන්නේ කොහෙද?

රංජිත් පීරිස්:
වළිමඩ, මාතලේ, වීරකැටිය සහ පුත්තලම ප්‍රදේශවල.

චමුදිත:
ඒ ඉඩම් කාගේද?

රංජිත් පීරිස්:
බොහෝ ඉඩම් සමාගම සතුයි. බදු පදනම මත ලබාගෙන තිබෙන්නේ අක්කර සියයක් පමණයි. සමාගමට අයත් ඉඩම් අක්කර අටසියයක් පමණ තිබෙනවා.

චමුදිත:
මහ බැංකුව වරින් වර ජනතාවට ප්‍රකාශ කරන්නේ වැවිලි ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමේදී සැලකිලිමත් විය යුතු බවයි. එවැනි තත්ත්වයක් තුළ ඔබ මුදල් ලබාගන්නේ කෙසේද?

රංජිත් පීරිස්:
අපි තැන්පතු භාරගන්නේ නැහැ. මහ බැංකුව පරීක්ෂා කරන්නේ අපි මුදල් පනත උල්ලංඝනය කර තැන්පතු ලබාගෙන තිබේද යන්නයි.

චමුදිත:
එහෙම නම් ඔබ මුදල් ලබාගන්නේ කුමන පදනමකින්ද?

රංජිත් පීරිස්:
අපි කරන්නේ පැළ අලෙවි කිරීම. පාරිභෝගිකයා පැළ මිලදී ගන්නවා. ඒ සඳහා ගිවිසුමක් තිබෙනවා. පැළවල අයිතිය පාරිභෝගිකයාට හිමි වෙනවා.

චමුදිත:
පැළවල අයිතියද, ඉඩමේ අයිතියද?

රංජිත් පීරිස්:
පැළවල අයිතිය පමණයි. ඉඩම්වල අයිතිය ලබාදෙන්නේ නැහැ.

චමුදිත:
එසේ වුවත් මුදල් ගෙවීමක් සිදුවෙනවා. එවිට මෙය ආයෝජන ක්‍රමයක් ලෙස පෙනෙනවා නේද?

රංජිත් පීරිස්:
මුදල් ගෙවන්නේ පැළ සඳහායි. එම පැළවලින් ලැබෙන ප්‍රතිලාභ පාරිභෝගිකයාට ලබාදෙනවා.

චමුදිත:
මහ බැංකුව ජනතාවට වැවිලි ව්‍යාපෘතිවල ආයෝජනය කිරීම ගැන අනතුරු අඟවනවා. එය ඔබට ගැටලුවක් නොවෙයිද?

රංජිත් පීරිස්:
බොහෝ දෙනා බැංකුවල හෝ මූල්‍ය ආයතනවල තිබූ මුදල් ඉවත් කර වැඩි ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් අප වෙත පැමිණෙනවා. අවදානමක් තිබිය හැකි බව ඔවුන් දන්නවා. නමුත් වැඩි ආදායමක් අපේක්ෂාවෙන් එය කරනවා.

චමුදිත:
උදාහරණයක් දෙන්න.

රංජිත් පීරිස්:
කෙනෙක් පැළ සියයක් මිලදී ගත්තොත් මාසිකව රුපියල් 35,000ක පමණ ප්‍රතිලාභයක් ලබාගන්න පුළුවන්. පැළ සියයේ වටිනාකම රුපියල් ලක්ෂ පහක්.

චමුදිත:
ඔබේ අලෙවි නිලධාරියෙක් මට පැවසුවේ අද ආයෝජනය කළොත් ලබන මාසයේ සිටම ප්‍රතිලාභ ලැබෙන බවයි. එසේ නම් අද මිලදී ගත් පැළවලින් ලබන මාසයේ ආදායමක් ලැබෙන්නේ කොහොමද?

රංජිත් පීරිස්:
අප සතුව දැනටමත් පලදාව ලැබෙන වගා බිම් තිබෙනවා. ඒවායින් ලැබෙන ආදායමෙන් මුල් මාස කිහිපයේ ප්‍රතිලාභ ගෙවනවා. නව පැළවලින් සාමාන්‍යයෙන් දින 45කින් අස්වැන්න ලැබුණත්, වෙළෙඳපොළට සුදුසු තත්ත්වයට පැමිණීමට මාස තුනක් පමණ ගත වෙනවා.

චමුදිත:
එවිට මුල් මාස තුනේ ප්‍රතිලාභ එන්නේ අලුත් පැළවලින් නොව, ඔබගේ වෙනත් ආදායම්වලින්ද?

රංජිත් පීරිස්:
ඔව්. සමාගම සතුව පවතින අනෙකුත් වගාවන් සහ ආදායම් මාර්ගවලින් ඒ ප්‍රතිලාභ ගෙවනවා.

චමුදිත:
ඔබ පවසන බෙල් පෙපර් වැනි නිෂ්පාදන අපනයනය කරනවාද?

රංජිත් පීරිස්:
තවම අපනයනය ආරම්භ කර නැහැ. දැනට දේශීය වෙළෙඳපොළට පමණයි අලෙවි කරන්නේ.

චමුදිත:
දේශීය වෙළෙඳපොළෙන් පමණක් මෙතරම් ප්‍රතිලාභ ලබාගත හැකිද?

රංජිත් පීරිස්:
අපගේ ගණනය කිරීම් අනුව එය කළ හැකියි.

චමුදිත:
අනෙක් වගාකරුවන්ට එය කළ නොහැකිව ඔබට පමණක් කළ හැක්කේ ඇයි?

රංජිත් පීරිස්:
අපගේ ව්‍යාපාර ආකෘතිය සහ පරිමාණය වෙනස් නිසා එය කළ හැකි බව අප විශ්වාස කරනවා.

චමුදිත:
ඔබේ පැහැදිලි කිරීම අනුව, නව ආයෝජකයන්ට මුල් මාසවල ගෙවීම් සිදු කරන්නේ සමාගමට දැනට පවතින වෙනත් ආදායම් මාර්ගවලින් බව ඔබ පිළිගන්නවා නේද?

රංජිත් පීරිස්:
ඔව්. සමාගම සතුව පවතින ආදායම් මාර්ගවලින් මුල් මාසවල ප්‍රතිලාභ ගෙවාගෙන යනවා. නැතිනම් බොහෝ දෙනා එවැනි වගා ව්‍යාපෘතියකට සම්බන්ධ වීමට කැමති නොවනු ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button