
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම B- දක්වා ඉහළට – S&P නවතම වාර්තාවෙන් ප්‍රගතිය තහවුරුයි
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන් සුවිශේෂී ප්‍රගතියක් වාර්තා වී ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබේ.
ලොව ප්රමුඛ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන අමෙරිකාවේ S&P (Standard & Poor’s) නිකුත් කළ නවතම වාර්තාවට අනුව, ආයෝජක විශ්වාසය පිළිබඳ හුවමාරු සහ පරිවර්තන දර්ශකයේ ශ්‍රී ලංකාව පෙර පැවති CCC+ ශ්‍රේණියේ සිට B- ශ්‍රේණිය දක්වා ඉහළ ගොස් ඇත.
මෙම දර්ශකය මඟින් විදේශීය ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ උපයන ලාභය නැවත තම රටට රැගෙන යාමේ හැකියාව, අවශ්‍ය අවස්ථාවලදී ප්රාග්ධනය ආපසු ලබාගැනීමේ පහසුව සහ දේශීය මුදල් විදේශීය මුදල් බවට පරිවර්තනය කර ණය හා පොලී ගෙවීම් සිදුකිරීමේ හැකියාව ඇගයීමට ලක් කරයි.
2022 වසරේදී ශ්‍රී ලංකාව මෙම දර්ශකයට අනුව දැඩි අවදානම් කලාපයක පැවති අතර, වර්තමානයේ වාර්තා වී ඇති මෙම ඉහළ යාම ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ වැදගත් සලකුණක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම 2026 ජූලි මාසය වන විට, ලෝක දේශපාලනික හා පාරිසරික අභියෝග හමුවේ වුවද, ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ගෙවීමේ ධාරිතාව සහ ණය ශ්‍රේණිගත කිරීමේ C+ මට්ටම ස්ථාවරව පවත්වාගෙන යාමට හැකිව තිබෙන බව ද අදාළ වාර්තාවේ දැක්වේ.
‘දිත්වා’ සුළි කුණාටුවෙන් ඇති වූ බලපෑම් සහ මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය වැනි බාහිර අභියෝග මධ්‍යයේ මෙම ස්ථාවරත්වය පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වීම විශේෂත්වයක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (Institute of International Finance – IIF) නිකුත් කළ වාර්තාවට අනුව 2026 වසරේ ශ්‍රී ලංකාවේ ණය පාරිශුද්ධභාවය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. සමස්ත ලකුණු 50න් ලකුණු 43.67ක් ශ්‍රී ලංකාව හිමිකරගෙන ඇති අතර, එය 2025 වසරේ ලැබූ 38.33 ලකුණු සමඟ සසඳන විට 6.3%ක වර්ධනයකි.
එම ප්‍රගතිය හේතුවෙන්, 2026 වසරේ ණය පාරිශුද්ධභාවය සහ ආයෝජක විශ්වාසය සම්බන්ධ ඇගයීම්වලදී ලොව රටවල් අතර 4 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇති බව ද වාර්තාවේ සඳහන් වේ.
S&P යනු ලොව ප්‍රමුඛතම “Big Three” ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනවලින් එකක් වන අතර, රාජ්‍යයන් සහ සමාගම්වල ණය අවදානම, මූල්‍ය ශක්තිය සහ ආයෝජන විශ්වාසනීයත්වය ඇගයීමට ලක් කරන ජාත්‍යන්තරව පිළිගත් ආයතනයකි.



