අද විශේෂ

ඇසළ පුර පසළොස්වක පොහොය අදයි

ඇසළ පුර පසළොස්වක පොහොය අද (01) යෙදී ඇති අතර, බුදු සසුනේ මෙන්ම ශ්‍රී ලාංකීය බෞද්ධ ඉතිහාසයේ ද අතිශය වැදගත් සිදුවීම් රැසක් සිහිපත් කරන දිනයක් ලෙස මෙම පොහොය සැලකේ.

බෞද්ධ ඉතිහාසයට අනුව, පස්මහ බැලුම් බැලූ බෝසතාණන් වහන්සේ මිනිස් ලොව උපත සඳහා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම සිදුවූයේ අද වැනි ඇසළ පොහොය දිනයකය. එමෙන්ම සිදුහත් කුමරු මහා අභිණිෂ්ක්‍රමණය කළ දිනය සහ රාහුල කුමරුගේ උපත ද මෙම පොහොය දිනය සමඟ බැඳී පවතී.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අනතුරුව ප්‍රථම ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ ද ඇසළ පුර පසළොස්වක පොහොය දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ. තවද තව්තිසා දෙව්ලොවට වැඩම කර සිය මෑණියන්ට අභිධර්මය දේශනා කළේ ද මෙම පුණ්‍යමය දිනයේදී බව විශ්වාස කෙරේ.

ශ්‍රී ලංකා බෞද්ධ ඉතිහාසයේ ද ඇසළ පුර පසළොස්වක පොහොය විශේෂ ස්ථානයක් හිමිකර ගෙන තිබේ. අරිට්ඨ කුමරු ඇතුළු පිරිසක් පැවිදි උපසම්පදාව ලැබීම මෙන්ම දන්ත කුමරු සහ හේමමාලා කුමරිය විසින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කරවීම ද අද වැනි පොහොය දිනයක සිදුවූ බව ඉතිහාසයේ සඳහන්ය.

එසේම භික්ෂූන් වහන්සේලාගේ වස් කාලය ආරම්භ වන්නේ ද ඇසළ පුර පසළොස්වක පොහොය දිනයේ සිට වීම මෙම දිනයේ තවත් වැදගත් සම්ප්‍රදායකි.

ඇසළ පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආගමික වතාවත්, ධර්ම දේශනා, බෝධි පූජා සහ සිල් වැඩසටහන් ඇතුළු පින්කම් රැසක් අද දිනයේ සංවිධානය කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button