
යුද තත්ත්වය මැද යලිත් ලෝක බොරතෙල් මිල ඉහළට
බොරතෙල් මිල ඉහළට යාමට හේතු වී ඇත්තේ ඉරානය විසින් ගල්ෆ් කලාපයේ රටවල් ඉලක්ක කර ප්‍රහාර පුළුල් කිරීමත් සමඟ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බලශක්ති ප්‍රවාහනය පිළිබඳ අවදානම වැඩිවීම බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 2.34කින් හෙවත් 3.08%කින් ඉහළ ගොස් ඩොලර් 78.35ක් ලෙස සටහන් වී තිබේ.
එමෙන්ම WTI වර්ගයේ බොරතෙල් මිලද ඩොලර් 2.21කින් හෙවත් 3.09%කින් වැඩි වී ඇති අතර, ඒ අනුව එහි බැරලයක මිල ඩොලර් 73.62ක් දක්වා ඉහළ ගොස් ඇත.
ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය නිකුත් කළ මාසික වාර්තාවකට අනුව, ජූනි මාසයේදී ලෝක තෙල් සැපයුම දිනකට බැරල් මිලියන 4.1කින් ඉහළ ගියද, එය යුද තත්ත්වයට පෙර පැවති මට්ටමට වඩා දිනකට බැරල් මිලියන 9.4කින් අඩු මට්ටමක පවතී.
මේ අතර සති අන්තයේදී ගැටුම් තත්ත්වය තවදුරටත් උග්‍ර වීම හේතුවෙන්, මෙම අර්බුදයට කෙටි කාලයක් තුළ විසඳුමක් ලැබෙනු ඇතැයි පැවති බලාපොරොත්තු පිළිබඳව සැක මතුවිය හැකි බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ.



