
ජගත් පරිසර දිනය අදයි
ලෝක පරිසර දිනය අද (05) ලොව පුරා සැමරේ. 1972 වසරේ සිට පාරිසරික සංරක්ෂණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ ගෝලීය පාරිසරික ගැටලු සඳහා නායකයින්ගේ අවධානය යොමු කිරීම සඳහා මෙම දිනය නම් කර තිබේ.
මෙවර එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන විසින් “Urgent Climate Action” යන ගෝලීය තේමාව යටතේ ජගත් පරිසර දිනය සමරනු ලබන අතර, දේශගුණික විපර්යාසවලට එරෙහිව ඉක්මන් හා ඵලදායී ක්‍රියාමාර්ග ගන්නා අවශ්‍යතාවය මෙහිදී ප්‍රධාන වශයෙන් අවධාරණය කෙරේ.
දේශගුණික විපර්යාස හේතුවෙන් ලොව පුරා ඉහළ යන පාරිසරික අභියෝගයන්ට මුහුණදීම සඳහා හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම, පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කිරීම සහ උෂ්ණත්වය පාලනය කිරීමේ ගෝලීය උත්සාහයන් වේගවත් කළ යුතු බව ද එහිදී පෙන්වා දෙයි.
ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ චක්‍රලේඛයකට අනුව, දේශගුණික විපර්යාස වර්තමානයේ ප්‍රධානතම ගෝලීය අභියෝගයක් ලෙස හඳුනාගෙන ඇති අතර, එය මිනිස් ක්‍රියාකාරකම්—විශේෂයෙන් පොසිල ඉන්ධන දහනය—හේතුවෙන් හරිතාගාර වායු වැඩි වශයෙන් වායුගෝලයට මුදා හැරීමේ ප්‍රතිඵලයක් බව තහවුරු කර ඇත.
ඉදිරි දශක කිහිපය තුළ විමෝචන සැලකිය යුතු ලෙස අඩු නොකළහොත් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.9 දක්වා ඉහළ යා හැකි බවත්, එය පෘථිවියට බරපතල අහිතකර බලපෑම් ඇති කළ හැකි බවත් දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය සභාව පෙන්වා දෙයි.
එම තත්ත්වය හමුවේ, පුනර්ජනනීය බලශක්ති භාවිතය, බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, වන වගා ව්‍යාපෘති සහ කසළ ප්‍රතිචක්‍රීකරණය වැනි ක්‍රියාමාර්ග ඔස්සේ කාබන් විමෝචනය අඩු කිරීම අත්‍යවශ්‍ය බව අවධාරණය කෙරේ.
ශ්‍රී ලංකාවද දේශගුණික විපර්යාසවල දැඩි බලපෑමට ලක්ව ඇති අතර, අධික වර්ෂාපතනයෙන් ඇතිවන ගංවතුර හා නායයෑම් මෙන්ම දීර්ඝ වියළි කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ජල හිඟය වැනි ආන්තික කාලගුණික තත්ත්වයන් නිතර දැකගත හැකි බව වාර්තා වේ.
මෙවර ජගත් පරිසර දිනයේදී ශ්‍රී ලංකාවද “දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීමට ක්‍රියාත්මක වෙමු” යන දේශීය තේමාව යටතේ සමරන අතර, ජාතික උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.
පරිසර ආරක්ෂාව සඳහා නීති සහ පනත් තිබුණද, පසුගිය කාලයේ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් පරිසර විනාශයන් සිදුවූ බවත්, එම සංස්කෘතිය වෙනස් කිරීම පසුගිය කාලයේ ලැබූ වැදගත් ජයග්‍රහණයක් බවත් පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කරයි.



