
අමෙරිකා – ඉරාන සාකච්ඡා ධනාත්මක අතට
එක්සත් ජනපදය සහ ඉරානය අතර පැවැත්වෙන සාකච්ඡා මේ වනවිට ධනාත්මක ප්‍රගතියක් පෙන්නුම් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අමෙරිකානු හමුදා සම්බන්ධ නව සැලසුමක් ප්‍රකාශයට පත් කරමින් ඔහු මේ අදහස් පළ කර ඇත.
“Project Freedom” ලෙස නම් කර ඇති මෙම නව සමුද්‍රීය මෙහෙයුම, අවහිරතාවලට ලක්ව සිරවී සිටින නෞකා සහ එහි කාර්ය මණ්ඩල සඳහා මානුෂීය සහාය ලබාදීමේ වැඩපිළිවෙළක් ලෙස හඳුන්වා දී තිබේ.
ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, අදාළ නෞකා සහ කාර්ය මණ්ඩල ආරක්ෂිතව සමුද්‍ර සන්ධියෙන් පිටතට ගෙනයාමට සියලු උත්සාහයන් ගන්නා බවයි. එමෙන්ම කලාපය නැවත නාවික ගමනාගමනයට සුරක්ෂිත වන තෙක් එම නෞකා ආපසු නොපැමිණෙන බවද ඔහු සිය Truth Social ගිණුම හරහා ප්‍රකාශ කර ඇත.
මෙම නිවේදනයෙන් අනතුරුව ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් පහළ යාමක්ද වාර්තා වී තිබේ.
කෙසේවෙතත්, හෝමූස් සමුද්‍ර සන්ධියේ නව පාලන ක්‍රමවේදයට අමෙරිකානු මැදිහත්වීමක් සිදුවුවහොත් එය සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමක් ලෙස සලකන බව ඉරානය අනතුරු අඟවා ඇත.
මේ අතර, ඉරානය යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් කරුණු 14ක සැලැස්මක් ඉදිරිපත් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පාකිස්තාන මධ්‍යස්ථකරුවන් හරහා වොෂින්ටනයෙන් ප්‍රතිචාර ලැබී ඇති බවත් ඉරාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.



