විදෙස්

ඉන්දියාවේ ලෝක ප්‍රසිද්ධ Firozabad වීදුරු නගරය වැසීයාමේ අවදානමක

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි ෆිරෝසාබාද් (Firozabad) නගරය, වීදුරු හා වළලු නිෂ්පාදනය සඳහා ලොවපුරා ප්‍රසිද්ධ නගරයක් ලෙස සැලකේ. කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තශාලා 400කට අධික සංඛ්‍යාවක් මෙහි ක්‍රියාත්මක වන අතර, මෝටර් රථ ලාම්පු ආවරණ, වළලු, විදුලි පහන් ආවරණ සහ අලංකාර පහන් ඇතුළු විවිධ වීදුරු භාණ්ඩ නිෂ්පාදනය කෙරේ. ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව, ඉන්දියාවේ සමස්ත වීදුරු නිෂ්පාදනයෙන් 70%ක් පමණ මෙම නගරයෙන් ලැබේ.

කෙසේ වෙතත්, මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ෆිරෝසාබාද් නගරයේ කර්මාන්ත ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. වීදුරු උණු කිරීම සඳහා දිවා-රාත්‍රී ක්‍රියාත්මක වන පෝරණු සඳහා ස්වභාවික වායුව (gas) අත්‍යවශ්‍ය වන අතර, යුද තත්ත්වය නිසා එම වායු සැපයුම සීමා වී තිබේ. එමෙන්ම පවතින වායු මිලද විශාල ලෙස ඉහළ ගොස් ඇත.

වායු සැපයුම 20%කින් පමණ අඩුවීම හේතුවෙන් කර්මාන්තශාලාවල නිෂ්පාදන ධාරිතාව 40% සිට 50% දක්වා පහත වැටී ඇති බව වාර්තා වෙයි. මේ හේතුවෙන් කුඩා කර්මාන්තශාලා රැසක් දැනටමත් වසා දමා තිබේ.

ෆිරෝසාබාද් නගරයෙන් අමෙරිකාව, යුරෝපය ඇතුළු රටවලට අපනයනය කරන වීදුරු භාණ්ඩ සඳහා භාවිත කරන මුහුදු මාර්ග, විශේෂයෙන් පර්සියානු ගල්ෆ් කලාපය ආශ්‍රිත ප්‍රදේශ, අවදානම් සහගත වීමත් සමඟ නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තුද ඉහළ ගොස් ඇත.

ජීවනෝපායට දැඩි බලපෑම්

මෙම කර්මාන්ත මත සෘජුව සහ වක්‍රව ලක්ෂ 1.5කට අධික පිරිසක් යැපෙන බව සඳහන් වෙයි. දැනටමත් දහස් ගණනකට රැකියා අහිමි වී ඇති අතර, තවත් බොහෝ සේවකයින් අර්ධකාලීන සේවයට යොමු වී සිටිති.

සේවකයින් දිනකට ඉපයන ආදායම ඉන්දීය රුපියල් 500ත් 1,000ත් අතර වන අතර, දිනෙන් දින ඉහළ යන භාණ්ඩ හා සේවා මිල ගණන් හමුවේ එම වැටුප ජීවන වියදම් සඳහා ප්‍රමාණවත් නොවන බව කර්මාන්ත සේවකයින් පෙන්වා දෙති.

ආර්ථිකයටද අභියෝගයක්

ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 30%ක් පමණ කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත හරහා ලැබෙන බව සඳහන්ය. සාමාන්‍යයෙන් මාර්තු සිට අගෝස්තු දක්වා කාලය උත්සව සමය සඳහා වැඩි ඇණවුම් ලැබෙන කාලයක් වුවද, මෙවර එම ඇණවුම් සම්පූර්ණ කිරීමට කර්මාන්තශාලා අසමත් වී තිබේ.

කර්මාන්තශාලා නිලධාරීන් පවසන්නේ යුද තත්ත්වය ආරම්භ වූ දා සිට 25% සිට 40% දක්වා ආදායම් පාඩු වාර්තා වන බවයි.

අන්තර් ඉන්දියානු වීදුරු නිෂ්පාදකයින්ගේ සම්මේලනයේ මුකේෂ් බන්සාල් මහතා පෙන්වා දෙන්නේ, වීදුරු නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඇතැම් රසායනික ද්‍රව්‍ය මැදපෙරදිග රටවලින්ද ආනයනය කරන බැවින්, එම සැපයුම් ජාලයටද යුදමය තත්ත්වය හේතුවෙන් බාධා ඇති වී ඇති බවයි.

රජයෙන් පියවර

වීදුරු පෝරණු නොනවත්වා ක්‍රියාත්මක වීමේ වැදගත්කම පිළිගත් ඉන්දීය රජය, වායු සැපයුම කළමනාකරණය කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත්, පවතින අර්බුදය දිගින් දිගටම පවතින්නේ නම් ෆිරෝසාබාද් නගරයේ කර්මාන්තශාලා රැසක් සම්පූර්ණයෙන් වසා දැමීමට හෝ නිෂ්පාදන සීමා කිරීමට සිදුවනු ඇති බව කර්මාන්තශාලා නිලධාරීන් අනතුරු අඟවා ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button