යුද්ධ සහ ගැටුම්

ඉරාන යුද්ධයට විරෝධය දක්වමින් අමෙරිකානු ත්‍රස්ත මර්දන ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

අමෙරිකානු ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජෝසප් කෙන්ට් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපිය තුළ, වත්මන් ඉරාන යුද්ධයට සම්බන්ධ පසුබිම් කරුණු පිළිබඳව තීව්‍ර චෝදනා සහිත තොරතුරු ඇතුළත් කර ඇති බව සඳහන් වේ.

කෙන්ට් පෙන්වා දෙන්නේ, ට්‍රම්ප්ගේ පළමු ජනාධිපති ධුර කාලය තුළදී, නිමාවක් නොමැති යුද්ධවලට ඇමරිකාව ඇද නොගෙන, හමුදා බලය කාර්යක්ෂමව භාවිතා කිරීම පිළිබඳ ඔහුට පැහැදිලි දර්ශනයක් තිබූ බවයි. කෙසේ වෙතත්, දෙවන ධුර කාලය ආරම්භයේදී එම ප්‍රතිපත්තියෙන් විශාල වෙනසක් සිදුවූ බවත් ඔහු අවධාරණය කරයි.

ඔහුගේ ලිපිය අනුව, උසස් ඊශ්‍රායල නිලධාරීන් හා බලගතු මාධ්‍ය කණ්ඩායම් එක්ව, සැලසුම් සහගතව වැරදි තොරතුරු ප්‍රචාරණයක් සිදු කර ඇති බවට චෝදනා කෙරේ. එම ක්‍රියාවලිය මගින් අමෙරිකානු “America First” ප්‍රතිපත්තිය දුර්වල කරමින්, ඉරානය සමඟ යුද්ධයකට පසුබිම සකස් කළ බවද ඔහු කියා සිටී.

තවද, ඉරානයෙන් අමෙරිකාවට ක්ෂණික තර්ජනයක් පවතින බවටත්, වහාම ප්‍රහාරයක් එල්ල කළහොත් ඉක්මන් ජයග්‍රහණයක් ලබාගත හැකි බවටත් ට්‍රම්ප්ව මුළා කර ඇති බවද කෙන්ට් සිය ලිපියේ සඳහන් කර ඇත.

මෙවැනි ක්‍රියාමාර්ග අතීතයේදී ඉරාක යුද්ධයට අමෙරිකාව ඇදගැනීමට භාවිතා කළ උපක්‍රම සමඟ සමාන බවද ඔහු දක්වා ඇත.

45 හැවිරිදි කෙන්ට්, එක්සත් ජනපද විශේෂ බලකාය සහ CIA හි පළපුරුදු නිලධාරියෙකි. ඔහුගේ බිරිඳ වන ෂැනන් කෙන්ට්, 2019දී සිරියාවේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button