යුද්ධ සහ ගැටුම්

මැදපෙරදිග යුද්ධය: නවතම තත්ත්වය සහ ලෝක ආර්ථිකයට ඇති බලපෑම්

ඊශ්‍රායලය සහ ඇමරිකාව එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද මෙහෙයුම අද (10) වනවිට දින 11ක් පුරා පැවතෙයි. මෙම ගැටුම තවදුරටත් උත්සන්නව ඇති අතර එහි ප්‍රතිඵල ලෙස ලෝක ආර්ථිකයටද දැඩි බලපෑම් එල්ල වෙමින් තිබේ.

Update | 12.05 PM

මැදපෙරදිග චන්ද්‍රිකා ඡායාරූප නිකුත් කිරීම ප්‍රමාද කරයි

ඇමරිකාවේ ප්‍රමුඛ පෙළේ වාණිජ චන්ද්‍රිකා සමාගමක් වන Planet Labs මැදපෙරදිග කලාපයට අදාළ චන්ද්‍රිකා ඡායාරූප ප්‍රසිද්ධ කිරීම තාවකාලිකව ප්‍රමාද කිරීමට තීරණය කර තිබේ.
මීට පෙර දින 4ක් වූ ප්‍රමාද කාලය දැන් දින 14ක් දක්වා දීර්ඝ කර ඇති බව වාර්තා වේ.
එම ඡායාරූප සතුරු පාර්ශවයන් විසින් භාවිත කර අමෙරිකානු හමුදා, නේටෝ බලකා හෝ සිවිල් වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ හැකි බවට ඇති ආරක්ෂක අවදානම මෙම තීරණයට හේතු වී ඇත.

 


 

Update | 11.35 AM

දකුණු කොරියානු ආර්ථිකයට යුද්ධයෙන් බලපෑම්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් දකුණු කොරියාවේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
ඊයේ දිනයේ එරට කොටස් වෙළඳපොළ 8%කට වැඩි ප්‍රමාණයකින් පහළ වැටී ඇති අතර, ඒ හේතුවෙන් ගනුදෙනු තාවකාලිකව නතර කිරීමටද සිදුව තිබේ.

 


 

Update | 10.45 AM

ගල්ෆ් කලාපයේ ආරක්ෂාවට ඔස්ට්‍රේලියාවෙන් සහාය

ඉරාන ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා ගල්ෆ් කලාපයේ රටවලට සහාය ලබාදීමට ඔස්ට්‍රේලියාව තීරණය කර ඇත.
ඒ අනුව විශේෂ නිරීක්ෂණ ගුවන් යානයක් සහ මිසයිල පද්ධති ලබාදීමට ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන ඇත.

 


 

Update | 10.45 AM

UAE කොන්සල් කාර්යාලයට ප්‍රහාරය සෞදි අරාබිය හෙළා දකියි

ඉරාකයේ කුර්දිස්ථාන ස්වයං පාලන කලාපයේ පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය සෞදි අරාබිය දැඩි ලෙස හෙළා දැක තිබේ.
රාජ්‍ය තාන්ත්‍රික ස්ථාන ඉලක්ක කරගනිමින් සිදුකරන මෙවැනි ප්‍රහාර ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

 


 

Update | 10.02 AM

ඔස්ට්‍රේලියාවේදී ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමට විරෝධතා

ඔස්ට්‍රේලියාවේ Gold Coast නගරයේ හෝටලයක නවාතැන්ගෙන සිටි ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායම පිටත්ව යාමේදී විරෝධතා සිදුව තිබේ.
ප්‍රදේශයේ ඉරාන ක්‍රියාකාරීන් පිරිසක් මාර්ගයේ වැතිරෙමින් ක්‍රීඩිකාවන් රැගත් බස් රථයට ඉදිරියට ගමන් කිරීමට බාධා කර ඇත.

 


 

Update | 09.47 AM

මැදපෙරදිගට අමෙරිකානු අවි යැවීම පිළිබඳ දකුණු කොරියානු ජනපතිගේ අදහස

දකුණු කොරියාවේ ස්ථාපිත කර ඇති අමෙරිකානු ගුවන් ආරක්ෂක අවි පද්ධති මැදපෙරදිගට මාරු කිරීම උතුරු කොරියාවට එරෙහි ආරක්ෂාවට බාධාවක් නොවන බව එරට ජනාධිපති ලී ජේ මියුන්ග් පවසා ඇත.
එම අවි ඉවත් කිරීම සම්බන්ධයෙන් තම රටට සම්පූර්ණ තීරණ ගත නොහැකි යථාර්ථයක් පවතින බවද ඔහු සඳහන් කර තිබේ.

 


 

Update | 09.45 AM

බහරේනයේ ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම්

බහරේන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ජනතාවට විශේෂ උපදෙස් නිකුත් කර තිබේ.
ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීමේ සංඥා නාද වුවහොත් වහාම ආරක්ෂිත ස්ථානයකට ගමන් කරන ලෙසත් කලබල නොවී සන්සුන්ව සිටින ලෙසත් ජනතාවට දැනුම් දී ඇත.

 


 

Update | 09.35 AM

ලෙබනනයේ පුද්ගලයින් ලක්ෂ 7ක් අවතැන්

පවතින යුද ගැටුම් හේතුවෙන් ලෙබනනයේ පුද්ගලයින් ලක්ෂ 7කට ආසන්න පිරිසක් තම නිවාස අතහැර අවතැන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 


 

Update | 09.27 AM

“යුද්ධය අවසන් කිරීම තීරණය කරන්නේ අපි” – ඉරානය

මැදපෙරදිග යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයට ඉරානය දැඩි ප්‍රතිචාර දක්වා තිබේ.
අමෙරිකානු සහ ඊශ්‍රායල ඉලක්කවලට එල්ල කරන මිලිටරි ප්‍රහාර නතර කිරීම සම්බන්ධ තීරණය ගන්නේ ඉරානය බව එරට සඳහන් කර ඇත.

 


 

Update | 07.07 AM

බොරතෙල් මිල පහළට

ආසියානු වෙළෙඳපොළේ අද උදෑසන ගනුදෙනු ආරම්භයේදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 8.5%කින් පහළ වැටී ඩොලර් 92.50ක් ලෙස සටහන් වී තිබේ.

 


 

Update | 06.47 AM

පුටින් – ට්‍රම්ප් දුරකථන සාකච්ඡාව

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැයකට ආසන්න කාලයක් දුරකථන සංවාදයක් පැවැත්වී ඇත.
මෙහිදී වර්තමාන ජාත්‍යන්තර යුද තත්ත්වය පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු වූ බව වාර්තා වේ.

 


 

Update | 02.18 AM

යුද්ධය ඉක්මනින් අවසන් වනු ඇති බව ට්‍රම්ප් කියයි

මැදපෙරදිග යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
එය මෙම සතිය තුළ අවසන් නොවනු ඇතත් කඩිනමින් විසඳුමක් ලැබෙනු ඇතැයි ඔහු සඳහන් කරයි.

 


 

Update | 01.05 AM

ලෙබනන් නායකයා සම්පූර්ණ සටන් විරාමයක් ඉල්ලයි

ඊශ්‍රායල හමුදාව විසින් සිදුකරන ගොඩබිම්, ගුවන් සහ මුහුදු ප්‍රහාර නතර කරමින් සම්පූර්ණ සටන් විරාමයක් ලබාදෙන ලෙස ලෙබනන් ජනාධිපති ජෝසප් අවුන් ඉල්ලීමක් කර තිබේ.
හිස්බුල්ලා බලපෑම් ඇති ප්‍රදේශවලට ඊශ්‍රායල හමුදා අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටින බවද වාර්තා වේ.

 


 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button