අද විශේෂ

ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි වෙයි – නව සමාගම් 6 අද සිට ක්‍රියාත්මකයි

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ එම ආයතනය අහෝසි කරමින් පිහිටුවනු ලැබූ නව සමාගම් 6ක් අද (09) සිට බලාත්මක වී ඇත.

ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මක වූ ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (08) මධ්‍යම රාත්‍රියෙන් පසු නීත්‍යානුකූලව අවසන් වී ඇති අතර 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනතද මේ සමඟ අවලංගු වී ඇත.

මෙම ප්‍රතිව්‍යුහගතකරණය යටතේ විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් කටයුතු වෙන වෙනම සමාගම් 6කට පැවරීමට නියමිත අතර ඒ සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක්ද බලශක්ති අමාත්‍යවරයා විසින් පසුගියදා නිකුත් කර තිබුණි.

ඒ අනුව මෙතෙක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදුකරනු ලැබූ සියලු මෙහෙයුම් කටයුතු ඉදිරියේදී එම නව සමාගම් වෙත පැවරෙනු ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමෙන් අනතුරුව පිහිටුවා ඇති සමාගම් 6 වනුයේ විදුලි ජනන ලංකා (පුද්ගලික) සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නන්ගේ (පුද්ගලික) සමාගම, ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම, විදුලි බෙදාහැරීම ලංකා (පුද්ගලික) සමාගම, සේවක අරමුදල (පුද්ගලික) සමාගම සහ එනර්ජි වෙන්චර්ස් ලංකා (පුද්ගලික) සමාගම යන ආයතන වේ.

එම සමාගම් අතරින් සමාගම් 3කට නව සාමාන්‍යාධිකාරිවරුන් පත් කිරීමටද පියවර ගෙන තිබේ. ඒ අනුව විදුලි ජනන ලංකා (පුද්ගලික) සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නන්ගේ (පුද්ගලික) සමාගම සහ විදුලි බෙදාහැරීම ලංකා (පුද්ගලික) සමාගම සඳහා නව සාමාන්‍යාධිකාරිවරුන් පත් කර ඇත.

එහිදී පිළිවෙළින් ඉංජිනේරු එන්. ජී. සාලිය පණ්ඩිතරත්න, ඉංජිනේරු එන්. එස්. වෙත්තසිංහ සහ ඉංජිනේරු කේ. එස්. අයි. කුමාර යන මහත්වරුන් එම තනතුරු සඳහා පත් කර ඇති බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button