කාලගුණය

අධික උණුසුම් කාලගුණය අප්‍රේල් දක්වා – කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය ලබන අප්‍රේල් මස මැද දක්වා දිගටම පවතින හැකියාවක් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සුළඟේ වේගය සාපේක්ෂව අඩු වීම හේතුවෙන් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය තවත් ඉහළ යාමක් දක්නට ලැබෙන බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මෙම තත්ත්වය හේතුවෙන් විශේෂයෙන් අධික වෙහෙසකින් යුතුව වැඩ කරන පුද්ගලයින් තම සෞඛ්‍යය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, දිනය පුරාම ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම වැදගත් බවත් උපදෙස් ලබා දී තිබේ.

එසේම පාසල් දරුවන් ක්‍රීඩා කටයුතු සඳහා යෙදවීමේදී ගුරුවරුන් විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

මේ අතර ඊයේ (05) දිනයේ වාර්තා වූ උපරිම වර්ෂාපතනය මොනරාගල දිස්ත්‍රික්කයේ හඳපානාගල ප්‍රදේශයෙන් ලැබී ඇති අතර එහි අගය මිලිමීටර් 13.8ක් ලෙස සටහන් වී ඇත.

අද පෙරවරු 8.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය සෙල්සියස් අංශක 36.4ක් ලෙස සඳහන් වේ.

එමෙන්ම දිවයිනේ අවම උෂ්ණත්වය නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති අතර එය සෙල්සියස් අංශක 8.1ක් ලෙස සටහන් වී තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button