
අද ඇරඹේන T20 ලෝක කුසලානය
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරන ICC 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (7) SSC ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතය.
තරගාවලිය ආරම්භ කරමින් අද දින තරග තුනක් පැවැත්වෙන අතර, එහි පළමු තරගය පාකිස්තානය සහ නෙදර්ලන්තය අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
දිවා තරගයක් ලෙස පැවැත්වෙන එය පෙරවරු 11.00ට ආරම්භ වීමට නියමිතය.
අද පැවැත්වෙන අනෙක් තරග දෙක ඉන්දියාවේදී පැවැත්වෙන අතර, බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ස්කොට්ලන්තය අතර තරගය කොල්කටාහිදීත්, සත්කාරක ඉන්දියාව සහ අමෙරිකාව අතර තරගය මුම්බායිහිදීත් පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන පළමු තරගය අයර්ලන්තයට එරෙහිව හෙට (8) දින පැවැත්වෙන අතර, එම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.
ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම සහ ආකර්ෂණීයම තරග ආකෘතිය ලෙස පිළිගැනෙන විස්සයි20 ක්‍රමවේදයෙන් පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියක 10වැනි අදියර මෙය වන අතර, ශ්‍රී ලංකාව 2012 වසරේදීත් ඉන්දියාව 2016 වසරේදීත් වෙන් වෙන් වශයෙන් මෙම තරගාවලියට සත්කාරකත්වය ලබාදී තිබේ.
මෙවර තරගාවලියේ වැඩිම තරග සංඛ්‍යාවක් ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත අතර, චෙන්නායි, කොල්කටා, දිල්ලි, අහමදාබාද් සහ මුම්බායි නගරවල තරග පැවැත්වේ.
ශ්‍රී ලංකාවේදී තරග පැවැත්වීමට කොළඹ සහ පල්ලෙකැලේ පිහිටි ක්‍රීඩාංගණ තුනක් භාවිතයට ගැනීමට කටයුතු යොදා ඇත.
අවසන් මහා තරගය ඇතුළුව සමස්ත තරගාවලිය තරග 55කින් සමන්විත වන අතර, එයින් තරග 20ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. කෙසේ වෙතත්, අවසන් පූර්ව වටයට සහ අවසන් මහා තරගයට පාකිස්තානය සුදුසුකම් ලබාගතහොත්, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ යනු ඇත.
කණ්ඩායම් 20ක සහභාගිත්වයෙන් මෙවරද පැවැත්වෙන මෙම තරගාවලියේ ‘B’ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව තරගවදින අතර, එම කාණ්ඩයට ඔස්ට්‍රේලියාව, අයර්ලන්තය, ඕමානය සහ සිම්බාබ්වේ කණ්ඩායම්ද ඇතුළත් වේ.



