ව්‍යාපාරික

ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම B-/B දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම ‘B-/B’ මට්ටම දක්වා ඉහළ නැංවීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන S&P Global Ratings පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමට බලපෑ හේතු මෙන්න

මීට පෙර ‘CCC+/C’ මට්ටමේ පැවති ශ්‍රේණිගත කිරීම මෙලෙස ඉහළ නංවා ඇති අතර, එහි ඉදිරි දැක්ම ස්ථාවර (Stable) මට්ටමේ පවතින බව එම ආයතනය නිවේදනය කර ඇත.

මෙම තීරණයට බලපා ඇති ප්‍රධාන කරුණු අතර මෙරට රාජ්‍ය ආදායම අඛණ්ඩව වර්ධනය වීම සහ අභියෝගාත්මක බාහිර ආර්ථික පරිසරයක් මධ්‍යයේ වුවද විදේශ සංචිත ඉහළ යාම ඇතුළත් වේ.

ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව හේතුවෙන් රජයේ මූල්‍ය තත්ත්වය සහ විදේශ සංචිත තවදුරටත් ශක්තිමත් වෙමින් පවතින බව S&P Global Ratings පෙන්වා දෙයි. එමෙන්ම ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් රජයට ඇති අවදානම් ද සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව එම ආයතනය සඳහන් කර තිබේ.

දිගුකාලීන ණය ශ්‍රේණිගත කිරීම්වල ඉදිරි දැක්ම ස්ථාවර මට්ටමක පවතින බවත්, සාර්ව ආර්ථික ස්ථාවරත්වය වැඩිදියුණු කරන ප්‍රතිපත්ති රජය අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් එම වාර්තාවේ දැක්වේ.

මේ අතර, කෙටි කාලීන විදේශ සහ දේශීය මුදල් ණය ශ්‍රේණිගත කිරීම් ‘C’ මට්ටමේ සිට ‘B’ මට්ටම දක්වා ඉහළ නංවා තිබේ. අරමුදල් හුවමාරු කිරීමේ සහ පරිවර්තනය කිරීමේ හැකියාව පිළිබඳ තක්සේරුව ‘B-‘ මට්ටමේම පවත්වාගෙන යාමට ද තීරණය කර ඇත.

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ දිගුකාලීන බාධා පැවතියද, ඉදිරි මාස 6ත් 12ත් අතර කාලය තුළ ශ්‍රී ලංකා ආර්ථිකය සිය ඔරොත්තු දීමේ හැකියාව පවත්වා ගනු ඇතැයි S&P Global Ratings අපේක්ෂා කරයි.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය ඉහළ නැංවීමේ ප්‍රතිපත්ති ඔස්සේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය සහ බාහිර ආර්ථික ආරක්ෂණ ක්‍රමවේද ශක්තිමත් කිරීමට රජය කටයුතු කිරීම ද මෙම ස්ථාවර ඉදිරි දැක්මට හේතු වී තිබේ.

කෙසේ වෙතත්, අරමුදල් සපයා ගැනීමේ අවදානම් සහ ද්‍රවශීලතා පීඩනයන් තවදුරටත් ඉහළ යන බවට ලක්ෂණ පෙන්නුම් කළහොත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් නැවත පහත හෙළීමට සිදුවිය හැකි බවට ද S&P Global Ratings අනතුරු අඟවා ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button