
ඉල් පුර පසළොස්වක පොහොය අදයි – බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවූ දිනයක්
ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (24) යෙදී තිබේ. බෞද්ධ ජනතාවට ආගමික වශයෙන් සුවිශේෂී වැදගත්කමක් හිමි මෙම පොහොය දිනය බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිහිපත් කෙරෙන දිනයක් ලෙස සැලකේ.
ඉල් පුර පසළොස්වක පොහොය දිනයේ සිදුවූ බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම්
වස් සමය ආරම්භ කර වැඩ සිටි භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් කඨින චීවර පූජා සිදුකරන මාසයේ අවසන් දිනය වන්නේද ඉල් පුර පසළොස්වක පොහොය දිනයයි. එමෙන්ම පසුවස් විසූ භික්ෂූන් වහන්සේලාගේ පවාරණය සිදුවන දිනය ලෙසද මෙය වැදගත් වේ.
බුදුරජාණන් වහන්සේගේ ශාසනික මෙහෙවරට සම්බන්ධ සුවිශේෂී සිදුවීම් කිහිපයක්ද මෙම පොහොය දිනය සමඟ බැඳී පවතී.
ඒ අතර ප්රථම ධර්ම දූත පිරිස ලෙස සැලකෙන රහතන් වහන්සේලා හැට නම ධර්ම ප්රචාරය සඳහා පිටත්කර යැවීම විශේෂ සිදුවීමකි. එසේම තුන්බෑ ජටිලයන් දමනය කිරීමේ අරමුණින් බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්ව වෙත වැඩම කිරීමද මෙම පොහොය දිනයේ සිදුවූ වැදගත් ශාසනික සිදුවීමක් ලෙස සඳහන් වේ.
මෛත්රී බෝධිසත්ත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම මෙන්ම බුදුරජාණන් වහන්සේගේ අගසව් ධුරය දැරූ සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑමද ඉල් පුර පසළොස්වක පොහොය දිනයේ සිදුවූ සුවිශේෂී සිදුවීම් අතරට අයත් වේ.



