
‘පොඩි දිමුතු’ ඝාතනයට සම්බන්ධ 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට
අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවසක ඉකුත් ජනවාරි 28 වනදා පැවති සාදයක් අතරතුර ‘පොඩි දිමුතු’ නමැත්තා වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට අදාළව, 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය සමත් වී තිබේ.
අදාළ සැකකරු පොලිසියට ලබාදුන් ප්‍රකාශ අනුව, ඝාතනය සිදුවූ දිනයේ ඔහු ‘පොඩි දිමුතු’ සමඟ එකට මත්පැන් පානය කරමින් එම සාදයට සහභාගී වී ඇති අතර, ඝාතනය මෙහෙයවීමටද සෘජුව සම්බන්ධ වී ඇති බව අනාවරණය වී ඇත.
අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේ නිවසක පැවති මෙම සාදය අතරතුර දිමුතු සම්පත් හෙවත් ‘පොඩි දිමුතු’ වෙඩි තබා ඝාතනය කර ඇති අතර, වෙඩික්කරුවන් දෙදෙනෙකු එම ස්ථානයෙන් පලාගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
මෙම ඝාතනය, විදෙස්ගතව සැඟව සිටින කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස හඳුන්වන, මේ වනවිට බන්ධනාගාරගතව සිටින ‘ලලා’ නමැත්තා විසින් මෙහෙයවා ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.
වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඝාතනයට ලක්වූ ‘පොඩි දිමුතු’ගේ සමීප මිතුරෙකු වන මෙම 18 හැවිරිදි තරුණයා, සාදය සඳහා මත්පැන් රැගෙන පැමිණ ඇති අතර, වෙඩික්කරුවන්ට අවශ්‍ය සියලු තොරතුරු ලබාදී වෙඩි තැබීම සිදුවන මොහොතේ එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවය.
සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ, ඝාතනය සම්බන්ධයෙන් ‘ලලා’ නමැත්තා විසින් ඔහුට රුපියල් 50,000ක මුදලක් ලබාදී ඇති අතර, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක්ද ලබාදෙන බවට පොරොන්දු වී ඇති බවය.
මුලදී ‘ලලා’ගේ බිරිඳ සමඟ පැවති සමීප සබඳතාවක් මෙම ඝාතනයට හේතුවක් ලෙස සැක කළද, මේ වනවිට ‘පොඩි දිමුතු’ විසින් ‘සමන් කොල්ලා’ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවද විමර්ශනවලදී හෙළිවී තිබේ.
ඒ අනුව එයට පලිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති අතර, කරන්දෙණිය සුද්දාද ඊට සහය වී ඇති බවට පොලිසිය සැක පළ කරයි.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත, ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ නාමල් පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් සිදු කෙරෙමින් පවතී.
