
වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර වෙයි – ප්‍රදේශ කිහිපයක ජනතාවට අනතුරු ඇඟවීම්
මධ්‍යම පරිසර අධිකාරිය නිකුත් කළ නවතම වායු ගුණාත්මක දර්ශකයට අනුව, දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමක් දක්වා ඉහළ ගොස් තිබේ.
වායු ගුණාත්මකභාවය ඉහළ යාමෙන් යාපනය ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාවට සෞඛ්‍ය අවදානමක්
අද (18) පෙරවරු 7.30ට නිකුත් කළ දත්තවලට අනුව, වැඩිම වායු ගුණාත්මක දර්ශක අගය වන 186 යාපනය ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. කිලිනොච්චියෙන් 170ක්, අනුරාධපුරයෙන් 165ක්, බත්තරමුල්ලෙන් 166ක් සහ හලාවතින් 162ක් ලෙස ද අගයන් සටහන් වී තිබේ.
මීට අමතරව ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් 156ක අගයක් ද, අක්කරපත්තුවෙන් 154ක අගයක් ද වාර්තා වී ඇත. මෙම සියලු ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමේ පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙයි.
මේ හේතුවෙන් එම ප්‍රදේශවල වෙසෙන ජනතාවට සෞඛ්‍යමය බලපෑම් ඇතිවීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවීම වැදගත් වේ.
මේ අතර, ඇල්ල ප්‍රදේශයේ වායු ගුණාත්මක දර්ශකය 101ක් ලෙස සටහන් වී ඇති අතර එය සුළු වශයෙන් අහිතකර මට්ටමට අයත් වේ. රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වී ඇති 96ක අගය මධ්‍යස්ථ මට්ටමක් ලෙස වර්ගීකරණය කර තිබේ.
වායු ගුණාත්මක දර්ශකය වර්ගීකරණය කිරීමේදී 0 සිට 50 දක්වා අගයන් යහපත් මට්ටම ලෙසත්, 51 සිට 100 දක්වා අගයන් මධ්‍යස්ථ මට්ටම ලෙසත් සැලකේ.
එසේම 101 සිට 150 දක්වා අගයන් සුළු වශයෙන් අහිතකර මට්ටමටත්, 151 සිට 200 දක්වා අගයන් සෞඛ්‍යයට අහිතකර මට්ටමටත් අයත් වේ.
201 සිට 300 දක්වා අගයන් ඉතා අහිතකර මට්ටම ලෙසත්, 301 සිට 500 දක්වා අගයන් අනතුරුදායක මට්ටම ලෙසත් වර්ගීකරණය කර ඇත.
ඒ අනුව, වායු දූෂණය ඉහළ ගොස් ඇති ප්‍රදේශවල ජනතාවට ඇතිවිය හැකි සෞඛ්‍ය අවදානම් පිළිබඳ සැලකිලිමත් වන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය උපදෙස් ලබා දී තිබේ.



