කාලගුණය

මුරසු සුළි කුණාටුව හෙට චණ්ඩ වෙයි – කාලගුණයෙන් රතු අනතුරු ඇඟවීමක්

මුරසු සුළි කුණාටුව හෙට (02) දිනය වන විට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

මුරසු සුළි කුණාටුව හේතුවෙන් මුහුදු ප්‍රදේශ රැසකට දැඩි අනතුරු ඇඟවීම්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් බවට පත්ව ඇති අතර, එය ‘මුරසු’ ලෙස නම් කර තිබේ.

මෙම කාලගුණ පද්ධතියේ බලපෑම හේතුවෙන් බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහාත්, මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් පිහිටි ගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහාත් තද සුළං සහ රළු මුහුදු තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

අද (01) පෙරවරු 11.30 වන විට මෙම පද්ධතිය උතුරු අක්ෂාංශ 12.1° සහ නැගෙනහිර දේශාංශ 85.3° ආසන්නයේ කේන්ද්‍රගතව පැවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මුරසු සුළි කුණාටුව බටහිර දෙසට බරව වයඹ දිශාවට ගමන් කරමින් පවතින අතර, හෙට උදෑසන වන විට ගිනිකොණදිග සහ ඊට යාබද බස්නාහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වීමේ හැකියාව පවතී.

අනතුරුව එය තවදුරටත් වයඹ දෙසට ගමන් කර හෙට මධ්‍යම රාත්‍රියේ සහ අනිද්දා (03) අලුයම් කාලයේදී ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර, අනතුරු ඇඟවීමේ සිතියමේ ‘Warning’ ලෙස නම් කර ඇති මුහුදු කලාපවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70ත් 80ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි බව දැනුම් දී තිබේ.

එම මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි ඇතිවීමේ අවදානමක් ද පවතින බැවින් මුහුද ඉතා රළු ස්වභාවයක් ගනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඒ අනුව උතුරු අක්ෂාංශ 10ත් 15ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු කලාපවල නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවික කටයුතුවල නිරත නොවන ලෙස උපදෙස් ලබාදී ඇත.

දැනටමත් එම මුහුදු ප්‍රදේශවල සිටින ධීවර හා නාවික ප්‍රජාවට හැකි ඉක්මනින් ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත ගමන් කරන ලෙස ද දැනුම් දී තිබේ.

එමෙන්ම මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වූ ගැඹුරු මුහුදු ප්‍රදේශවල ද නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස අවධාරණය කර ඇත.

අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (01) පස්වරු 3.00ට නිකුත් කර ඇති අතර, එය ඉදිරි පැය 24ක කාලයක් සඳහා වලංගු වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button