අද විශේෂ

ගාස්තු ඉහළ නැංවීමට සිදුවන බවට බස් හිමියන්ගෙන් ඉඟියක්

 

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේ ඉන්ධන මිලෙහි සුළු අඩුවක් දැක්වෙන නමුත්, ඉදිරියේදී බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බවයි.

අද (01) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ එළැඹෙන ජූලි මාසයට පෙර බස් ගාස්තු ඉහළ නැංවීම සඳහා ඉල්ලීමක් කිරීමට සිදුවන බවයි.

වර්තමානයේ කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල බස් රථ ධාවනය දැඩි අභියෝගයක් බවට පත්ව ඇති බවත්, මීට පෙර බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඩීසල් ලීටරයකින් කිලෝමීටර් 2.5ත් 3ත් අතර දුරක් ධාවනය කළ හැකිව තිබූ බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත්, දැන් එම දුර ප්‍රමාණය තවත් අඩු වී ඇති අතර, අධික මාර්ග තදබදය හේතුවෙන් ඩීසල් ලීටරයකින් කිලෝමීටර් 2කටත් වඩා අඩු දුරක් පමණක් ධාවනය කළ හැකි තත්ත්වයක් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.

එම තත්ත්වය හමුවේ බස් ගාස්තු ඉහළ දැමීම අනිවාර්ය වන බව සඳහන් කළ ගැමුණු විජේරත්න මහතා, අවම බස් ගාස්තුව රුපියල් 5ත් 6ත් අතර ප්‍රමාණයකින් වැඩි කළ යුතු බවද අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ, ශ්‍රී ලංකාවේ බහුතරයක් පෞද්ගලික බස් රථ කෙටි දුර සේවා සඳහා යොදා ගන්නා බවත්, රට තුළ බස් රථ 13,000ත් 14,000ත් අතර සංඛ්‍යාවක් පවතින බවත්ය. එමගින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මාර්ග තදබදය ඉහළ ගොස් බස් රථ ධාවනය දැඩි ලෙස අපහසු වී ඇති බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම වත්මන් ආණ්ඩුව බලයට පැමිණ වසර එකහමාරක් ගත වී ඇතත් පොදු ප්‍රවාහන සේවාව සංවර්ධනය කිරීමට ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවටද ඔහු චෝදනා කළේය. පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය තවදුරටත් කඩා වැටෙන තත්ත්වයක් තුළ, ඉදිරි මාස කිහිපය ඇතුළත ගාස්තු සංශෝධනයක් ඉල්ලා සිටීමට සිදුවන බවද ඔහු කියා සිටියේය.

අවසානයේ, බස් ගාස්තු සම්බන්ධයෙන් වහාම සමාලෝචනයක් සිදු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත්, අවම වශයෙන් කෙටි දුර සේවා සඳහා රුපියල් 5–6ක ගාස්තු වැඩි කිරීමක් අත්‍යවශ්‍ය බවත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය අවධාරණය කර ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button