
රාජකාරියේදී මියයන වැඩිම නිලධාරීන් ශ්‍රී ලංකා පොලීසියේ
ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් රාජකාරියේ නිරතව සිටියදී අනතුරුවලට මුහුණදීම සහ මියයෑම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසන්නේ, මෙරට රාජකාරිය අතරතුර වැඩිම නිලධාරීන් පිරිසක් මියයන සේවය පොලිස් සේවය බවයි.
කාර්යක්ෂම හා විනයගරුක පොලිස් සේවයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් මේ වන විට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බව ද පොලිස්පතිවරයා සඳහන් කළේය.
බියගම ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“අපිට අවශ්‍යයි හොඳ විනයගරුක, කාර්යක්ෂම, ශක්තිමත් නිලධාරීන් පිරිසක්. නිලධාරීන්ගේ සංඛ්‍යාව ගත්කළ දෛනිකව අසනීපවෙන, රිය අනතුරුවලට ලක්වෙන පිරිස වැඩි අගයක් ගන්නවා. අදත් නිලධාරීන් දෙදෙනෙක් රිය අනතුරුවලට ලක්වෙලා තියෙනවා. ඒ වගේ නිලධාරීන් 200කට ආසන්න ප්‍රමාණයක් රාජකාරියේ යෙදී සිටින විට මියගිහින් තියෙනවා. ශ්‍රී ලංකාවේ යම් සේවයක් තියෙනවානම් ඒ සේවයේ නිලධාරීන් රාජකාරිය අතරතුර මියයන වැඩිම නිලධාරීන් ඉන්නේ ශ්‍රී ලංකා පොලීසියේ. ඒකට හේතු බොහෝමයක් තියෙනවා .ඒවත් අවම කර ගන්න මේ වෙනකොට මූලික වෛද්‍ය උපකරණ කට්ටල හැම පොලීසියකටම ලබා දීලා තියෙනවා. ඒ වගේම පොලිස් ස්ථාන මට්ටමින් කායවර්ධන උපකරණ ලබා දෙන්න කටයුතු කරමින් තිබෙනවා”
පොලිස් නිලධාරීන් මුහුණදෙන මෙවැනි අවදානම් අවම කිරීම සඳහා සෑම පොලිස් ස්ථානයකටම මූලික වෛද්‍ය උපකරණ කට්ටල ලබාදී ඇති බවත්, පොලිස් ස්ථාන මට්ටමින් කායවර්ධන උපකරණ ලබාදීමට ද කටයුතු කරමින් පවතින බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

