
ටියර් ‘A’ ක්‍රීඩා සමාජ 10ක් දක්වා අඩු කිරීමට යෝජනා
ටියර් ‘A’ ක්‍රීඩා සමාජ සංඛ්‍යාව ඉදිරි වසර දෙක තුළ 14 සිට 10 දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ මෙතෙක් ප්‍රගතිය සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් කර ඇත.
දැනට අන්තර් සමාජ ප්‍රධානතම ටියර් ‘A’ කාණ්ඩය යටතේ ක්‍රීඩා සමාජ 14ක් තරග කරන අතර, එම සංඛ්‍යාව 10 දක්වා සීමා කිරීමට නියමිතය. ටියර් ‘B’ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ 12ක සංඛ්‍යාව තවදුරටත් එලෙසම පවත්වාගෙන යාමට යෝජනා කර තිබේ.
මෙහි ප්‍රධාන අරමුණ ලෙස දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ සිටින දක්ෂතම ක්‍රීඩකයන් ඉහළම මට්ටමේ දේශීය තරගාවලියට එක්කරමින් වඩාත් තරගකාරී ක්‍රිකට් පරිසරයක් නිර්මාණය කිරීමය.
වඩාත් තරගකාරී දේශීය ක්‍රිකට් ව්‍යුහයක් හඳුන්වාදීම තුළින් මෙරට දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ සමස්ත ප්‍රමිතිය ඉහළ නැංවීමට මෙන්ම ජාතික කණ්ඩායම් සඳහා දක්ෂ ක්‍රීඩකයන් බිහිකරන මාර්ගය තවදුරටත් ශක්තිමත් කිරීමට හැකි වනු ඇතැයි කමිටුව විශ්වාස කරයි.
මේ අතර, ටියර් ‘A’ ලීග් තරගාවලිය දැනට පැවැත්වෙන දින තුනක ආකෘතිය වෙනුවට දින හතරක් පුරා පැවැත්වීමටද තීරණය කර තිබේ.
ටෙස්ට් ක්‍රිකට් සඳහා ක්‍රීඩකයන් වඩාත් හොඳින් සූදානම් කිරීමේ අරමුණින් දින හතරක දේශීය තරග ආකෘතිය හඳුන්වාදීම වැදගත් පියවරක් වනු ඇතැයි පරිවර්තන කමිටුව සඳහන් කරයි.
එමෙන්ම ක්‍රීඩකයන්ට ප්‍රමාණවත් විවේකයක් ලබාදෙමින් පැහැදිලි සහ විධිමත් දේශීය ක්‍රිකට් දින දර්ශනයක් සකස් කිරීමටද අවධානය යොමු කර තිබේ.
එම වැඩපිළිවෙළ මඟින් ක්‍රීඩකයන්ගේ අධික වෙහෙස සහ ආබාධ ඇතිවීමේ අවදානම අවම කිරීමට හැකි වන අතර, ක්‍රීඩා සමාජ, පුහුණුකරුවන් ඇතුළු අනෙකුත් පාර්ශ්වයන්ටද තම කටයුතු කල්තියා සැලසුම් කරගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.
අනාගත ජාතික කණ්ඩායම් සඳහා ක්‍රීඩකයන් හඳුනාගෙන සංවර්ධනය කිරීමේ ජාතික පෝෂක මාර්ගයේ වැදගත් අංගයක් වන ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් තරගාවලිය ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතුද මේ වන විට සිදුකරමින් පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.







