අද විශේෂ

සාක්ෂරතා දිනය අදයි – ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව 97.4%ක්

ජාත්‍යන්තර සාක්ෂරතා දිනය අදයි

සාක්ෂරතා දිනය අද (08) ලොව පුරා සමරනු ලබයි. පුද්ගලයාගේ මූලික දැනුම හා කුසලතා වර්ධනය කිරීම මෙන්ම සමාජ හා ආර්ථික සංවර්ධනය සඳහා සාක්ෂරතාවේ ඇති වැදගත්කම පිළිබඳ අවධානය යොමු කිරීම මෙම දිනයේ ප්‍රධාන අරමුණයි.

මෙවර සාක්ෂරතා දිනයේ තේමාව ලෙස “ජනතාව, පෘථිවිය සහ සමෘද්ධිය සඳහා සාක්ෂරතාවය” යන්න නම් කර තිබේ.

තිරසාර අනාගතයක් සඳහා සාක්ෂරතාව

යුනෙස්කෝ සංවිධානය පෙන්වා දෙන්නේ සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම තුළින් තිරසාර අනාගතයක් ගොඩනැගීමට මෙන්ම ජනතාවගේ ජීවනෝපාය සහ ආර්ථික අවස්ථා පුළුල් කිරීමට හැකියාව ලැබෙන බවයි.

සාක්ෂරතාවේ වැදගත්කම පිළිබඳ ලොව පුරා අවධානය යොමු කිරීම සඳහා සැප්තැම්බර් 8 වන දින ජාත්‍යන්තර සාක්ෂරතා දිනය ලෙස නම් කර තිබේ.

යුනෙස්කෝ සංවිධානය සිය 14 වන මහා සමුළුවේදී මෙම දිනය ප්‍රකාශයට පත් කර ඇති අතර, පළමු ජාත්‍යන්තර සාක්ෂරතා දිනය 1967 වසරේදී සමරා ඇත.

ලොව මිලියන 739කට තවමත් සාක්ෂරතා කුසලතා නැහැ

ගත වූ දශක හයක කාලය තුළ සාක්ෂරතාව සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය ඇගයීමටත්, තවදුරටත් පවතින අභියෝග හඳුනා ගැනීමටත් මෙවර සැමරුම අවස්ථාවක් වන බව යුනෙස්කෝව සඳහන් කරයි.

ගෝලීය සාක්ෂරතා මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබුණද, තවමත් ප්‍රධාන හිඩැස් පවතින බව එම සංවිධානය පෙන්වා දෙයි.

2024 වසරේ දත්ත අනුව ලොව පුරා තරුණයින් සහ වැඩිහිටියන් මිලියන 739ක් තවමත් මූලික සාක්ෂරතා කුසලතාවලින් තොරව සිටින බව යුනෙස්කෝව පවසයි.

එමෙන්ම ළමුන් 10 දෙනෙකුගෙන් සිව්දෙනෙකුට කියවීමේ අවම ප්‍රවීණතා මට්ටමට ළඟාවීමට නොහැකි වී ඇති බවද එම දත්තවල සඳහන් වේ.

ජාත්‍යන්තර සාක්ෂරතා දිනය අපට අභිමානයක්

ශ්‍රී ලංකාවේ සාක්ෂරතා මට්ටම ඉතා ඉහළ අගයක් ගනි

මේ අතර ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ සාක්ෂරතා අනුපාතය 97.4%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට ජනතාවගේ ඩිජිටල් සහ පරිගණක සාක්ෂරතාවද ඉහළ මට්ටමක පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

වයස අවුරුදු 5 හෝ ඊට වැඩි ජනගහනය සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාව 67.6%ක් වන අතර, පරිගණක සාක්ෂරතාව 34.7%ක් ලෙස වාර්තා වී ඇත.

ඒ අනුව මෙවර සාක්ෂරතා දිනය මගින් කියවීම සහ ලිවීමේ හැකියාවට පමණක් සීමා නොවී, සමාජ, පාරිසරික සහ ආර්ථික සංවර්ධනය සඳහා සාක්ෂරතාවේ දායකත්වය පිළිබඳවද අවධානය යොමු කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button