
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පෙත්සම් අද සලකා බැලීම ආරම්භ කෙරේ
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ගොනුකර ඇති සියලු පෙත්සම් අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබේ.
අගවිනිසුරු ප්රිති පද්මන් සුරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලීමට නියමිත බව වාර්තා වේ.
පෙත්සම් 40කට අධික සංඛ්‍යාවක්
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඊට අදාළව පෙත්සම් ගොනු කිරීමට අවස්ථාව ලබා දී තිබිණි.
ඒ අනුව ඊයේ (31) දක්වා පෙත්සම් ඉදිරිපත් කිරීමට අවස්ථාව පැවති අතර, පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂව සහ විපක්ෂව පෙත්සම් 40කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබේ.
අදාළ සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට බලපෑම් සිදුවන බවට චෝදනා කරමින් ඇතැම් පෙත්සම් ගොනු කර ඇති අතර, එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙසද ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.
තවද, පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවටද ඇතැම් පෙත්සම් මඟින් ඉල්ලා තිබේ.
පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්
පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරුවරයා විසින් ඊයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් නම් කරනු ලැබීය.
ඒ අනුව අගවිනිසුරු ප්රිති පද්මන් සුරසේන මහතාට අමතරව අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන් එම මඬුල්ලට ඇතුළත් වේ.
අදාළ පෙත්සම් අද පෙරවරු 10.00 සිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.
විනිසුරුවරුන් 13 දෙනාම අසුන් ගත යුතු බවට කරුණු
මේ අතර, පෙත්සම් සලකා බැලීම ආරම්භයේදීම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 13 දෙනාම අසුන් ගත යුතු බවට කරුණු ඉදිරිපත් කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ අදාළ පනත් කෙටුම්පතට අභියෝග කරමින් ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 13 දෙනාම සහභාගී විය යුතු බවට සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පෙත්සම්කාර පාර්ශ්ව ඉල්ලා ඇති බවයි.
ඒ අනුව අද පෙත්සම් සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේදීම ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට සියලු පෙත්සම්කාර පාර්ශ්ව සූදානමින් සිටින බව අජිත් පී. පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
වෘත්තීය සංවිධාන 40ක සහාය
මේ අතර, යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්ථාවරයට සහාය පළ කරමින් දිවයින පුරා වෘත්තීය සංවිධාන සහ වෘත්තීය සමිති 40ක නියෝජිතයන් ඊයේ පස්වරුවේ ඒකාබද්ධ ප්රකාශයකටද එකඟ වී තිබේ.



