
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද මධ්‍යස්ථාන 2,723කදී
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (09) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා සිසුන් 294,089 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම සිසුන් අතරින් 220,366 දෙනෙකු සිංහල මාධ්‍යයෙන්ද, 73,723 දෙනෙකු දෙමළ මාධ්‍යයෙන්ද විභාගයට පෙනී සිටීමට නියමිතව තිබේ. දරුවන්ට මානසික ඒකාග්‍රතාව පවත්වා ගනිමින් විභාගයට අවධානයෙන් මුහුණදීමට හැකිවන පරිදි විභාග මධ්‍යස්ථාන වෙත පැයකට පමණ පෙර පැමිණෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව විභාගය පෙරවරු 9.30ට ආරම්භ වන අතර සියලුම සිසුන් පෙරවරු 9.00 වන විට විභාග ශාලාවේ අසුන්ගෙන සිටිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළාය.
පළමුව දෙවන ප්‍රශ්න පත්‍රය ලබාදීමට නියමිත අතර එය පෙරවරු 9.30 සිට 10.45 දක්වා පැවැත්වේ. ඉන් අනතුරුව ලැබෙන කෙටි විවේකයෙන් පසු පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට දහවල් 12.15 දක්වා පැයක කාලයක් පැවැත්වීමට නියමිතය.
ප්‍රශ්න පත්‍රයේ සඳහන් උපදෙස් නිවැරදිව කියවා, තම විභාග අංකය නිවැරදිව සඳහන් කරමින් පැහැදිලි අත්අකුරින් පිළිතුරු සැපයීමට සිසුන් වගබලා ගත යුතු බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය අවධාරණය කර තිබේ.
එමෙන්ම ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, සටහන් සහ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ කිසිවක් විභාග ශාලාවට රැගෙන නොයන ලෙසද විභාග කොමසාරිස් ජනරාල්වරිය සිසුන්ට දැනුම් දී ඇත.



