
හජ් උත්සවයට දිවයින පුරා විශේෂ ආරක්ෂාව
ලොව පුරා මුස්ලිම් ජනතාවගේ මහත් භක්තියෙන් සමරනු ලබන හජ් උත්සවය අද (28) දිනට යෙදී තිබේ. ඉස්ලාමීය දින දර්ශනයේ දුල් හජ් මාසයේ දසවැනි දිනයේ මෙම උත්සවය පැවැත්වේ.
ඉස්ලාම් ආගම අනුව බැතිමතුන් විසින් ඉටුකළ යුතු මූලික වගකීම් පහෙන් අවසන් වගකීම ලෙස හජ් වන්දනාව සැලකේ. සමානාත්මතාව, සහෝදරත්වය සහ එකමුතුව ප්රවර්ධනය කිරීම මෙම උත්සවයේ ප්රධාන අරමුණක් ලෙස දැක්වේ.
සෞදි අරාබියේ මක්කම නගරයේ පැවැත්වෙන හජ් වන්දනාව ලොව විශාලතම ආගමික එකමුතුවක් ලෙසද සැලකෙන අතර එය හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස හැඳින්වේ.
මේ අතර හජ් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි. විශේෂ යාඥා පැවැත්වෙන ප්රධාන මුස්ලිම් පල්ලි සහ ඒ අවට ප්රදේශ ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් යොදවා තිබේ.
එමෙන්ම බැතිමතුන්ගේ ගමනාගමනය පහසු කිරීම සහ රථවාහන තදබදය අවම කිරීම සඳහා විශේෂ රථවාහන සැලැස්මක් ද ක්රියාත්මක කර ඇති බව සඳහන්ය.
තවත් පියවරක් ලෙස, හජ් උත්සවය වෙනුවෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට අද (28) අමුත්තන් හමුවීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්රකාශ කළේය.
ඒ අනුව රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර සහ රසකැවිලි එක් රැඳවියෙකුට පමණක් ප්රමාණවත් වන අයුරින් ලබාදීමට අවසර ලබාදී තිබේ.



