කාලගුණය

ගංගාවල ජල මට්ටම් ඉහළයි – ගංවතුර අවදානමක් තවමත් නැහැ

ගංගාවල ජල මට්ටම් කිහිපයක ඉහළ අගයන් වාර්තා වී තිබුණද, මේ වනවිට කිසිදු ප්‍රධාන ගංගාවක ජල මට්ටම ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ යාමේ අවදානමක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කරන්නේ පසුගිය පැය 24 තුළ ප්‍රධාන ගංගා ද්‍රෝණි කිහිපයකට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

ගිං ගඟේ පහළ ද්‍රෝණියට අයත් බද්දේගම ආසන්න ප්‍රදේශ කිහිපයක මිලිමීටර් 125කට ආසන්න වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.

කළු ගඟේ ඉහළ ද්‍රෝණියේ රත්නපුර ප්‍රදේශයෙන් මිලිමීටර් 75කට ආසන්න වර්ෂාපතනයක්ද, පහළ ද්‍රෝණියේ කැස්බෑව ආසන්න ප්‍රදේශවලින් මිලිමීටර් 100කට ආසන්න වර්ෂාපතනයක්ද වාර්තා වී ඇත. කොළඹ ආසන්න ප්‍රදේශවලින්ද මිලිමීටර් 100කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇති බව සඳහන්ය.

මේ අතර මහවැලි ගඟේ ඉහළ ද්‍රෝණියට අයත් බදුල්ල, මහනුවර සහ නුවරඑළිය ආශ්‍රිත ප්‍රදේශවලින් මිලිමීටර් 50ත් 75ත් අතර වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.

අම්පාරේ ගල්ඔය ද්‍රෝණිය ආසන්න ප්‍රදේශවලින් මිලිමීටර් 100කට ආසන්න වර්ෂාපතනයක්ද, මඩකළපුව දිස්ත්‍රික්කයෙන් මිලිමීටර් 75කට ආසන්න වර්ෂාපතනයක්ද වාර්තා වී ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකින්ද මිලිමීටර් 40කට ආසන්න වර්ෂාපතනයක් ලැබී තිබේ.

කෙසේ වෙතත්, බොහෝ ගංගාවල ජල මට්ටම් මේ වනවිට සීඝ්‍රයෙන් ඉහළ යන තත්ත්වයක් නිරීක්ෂණය නොවන බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පවසයි.

තෙත් කලාපයට අයත් ගිං, නිල්වලා සහ කළු ගංගාවල මෙන්ම අත්තනගලු ඔයේද ජල මට්ටම් ඉහළ අගයක පැවතියද, ඒවා තවමත් ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය වී නොමැත.

එහෙත් අදාළ ප්‍රදේශවලට ඉදිරියේදීත් සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ මේ දිනවල ලැබෙන වර්ෂාපතනයේ තීව්‍රතාව වැඩි බවත්, ඇතැම් අවස්ථාවල කෙටි කාලයක් තුළ විශාල වර්ෂාපතනයක් ලැබෙන බවත්ය.

එවැනි තත්ත්වයක් යටතේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට පහත්බිම් ජලයෙන් යටවීමේ හැකියාවක් පවතින බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටීම වැදගත් බවද ඔහු පෙන්වා දුන්නේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button