අද විශේෂ

දිට්වා කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට වන්දි ගෙවීමේ කටයුතු – වර්තමාන තත්ත්වය

පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීම සහ වන්දි ගෙවීම සම්බන්ධයෙන් වර්තමාන ප්‍රගතිය පිළිබඳව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ආලෝක බණ්ඩාර මහතා අද (30) දින පැහැදිලි කිරීමක් සිදු කළේය.

 

ඒ අනුව, ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට වන්දි ගෙවීමේ කටයුතු මේ වන විට බොහෝ දුරට අවසන් අදියරට ළඟා වී ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

 

ආපදාව හේතුවෙන් විපතට පත් වූ නිවාස පිරිසිදු කර ගැනීම සඳහා රුපියල් 25,000ක දීමනාව ලබා දිය යුතු නිවාස ඒකක 434,375ක් හඳුනාගෙන ඇති අතර, එයින් නිවාස ඒකක 423,914කට මේ වන විටත් අදාළ දීමනා මුදල් ගෙවා අවසන් කර ඇති බවද ඔහු පැවසීය.

 

එමෙන්ම ආපදාවෙන් විනාශයට පත් වූ ගෘහ භාණ්ඩ හා උපකරණ යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා රුපියල් 50,000ක දීමනාව ලබා දීමට නිවාස ඒකක 163,509ක් හඳුනාගෙන ඇති අතර, එයින් නිවාස ඒකක 115,757කට එම දීමනාව ලබා දීම සඳහා කටයුතු සිදු කර ඇති බවද අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේය.

 

තවද, ආපදාවෙන් පීඩාවට පත් සිසු දරුවන් සඳහා රුපියල් 15,000ක දීමනාවක් ගෙවීම සඳහා මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවත්, ඒ අනුව සිසු දරුවන් 195,157 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් සඳහන් කළේය.

 

එයින් මේ වන විට සිසු දරු දැරියන් 141,382 දෙනෙකුට අදාළ දීමනා මුදල් ගෙවා අවසන් කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

 

ආපදාවට පත් පුද්ගලයින් නිවැරදිව හඳුනාගෙන වන්දි මුදල් ගෙවීමේදී නිරවද්‍යතාවය ඉතා වැදගත් වන අතර, ඒ සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් විශාල වගකීමක් දරමින් කටයුතු කරන බවද අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

 

මෙම ක්‍රියාවලිය ඉතා සංකීර්ණ හා දුෂ්කර කාර්යයක් බැවින් සිදුවන ප්‍රමාදයන් සම්බන්ධයෙන් අසාධාරණ චෝදනා එල්ල කිරීම සුදුසු නොවන බවද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම, වන්දි ගෙවීමේ කටයුතු කඩිනමින් අවසන් කර ගැනීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහය අත්‍යවශ්‍ය බවද අමාත්‍යාංශ ලේකම් ආලෝක බණ්ඩාර මහතා අවසානයේදී පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button