
(ADB) විසින් ශ්‍රී ලංකාවට නව අධ්යක්ෂවරියක්
ආසියානු සංවර්ධන බැංකුව (ADB) ශ්‍රී ලංකාව සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස ෂැනන් කව්ලින් (Shannon Cowlin) මහත්මිය පත් කර ඇත.
ඒ අනුව, ඇය අද (09) දින කොළඹදී සිය නව ධුරයේ රාජකාරි ආරම්භ කර තිබේ.
ෂැනන් කව්ලින් මහත්මිය ආසියානු සංවර්ධන බැංකුව සමඟ වසර 13කට ආසන්න සේවා පළපුරුද්දක් ඇතුළුව, සමස්ත වශයෙන් වසර 26කට වැඩි වෘත්තීය අත්දැකීම් හිමි නිලධාරිනියක් බව සඳහන් වේ.
බලශක්ති, දේශගුණික වෙනස්වීම්, පරිසරය, වායු ගුණාත්මකභාවය, මහජන සෞඛ්‍යය සහ ආහාර හා ජල සුරක්ෂිතතා ක්ෂේත්රයන්ට අදාළ ආයෝජන ව්‍යාපෘති මෙහෙයුම් සහ ප්‍රතිපත්ති සැලසුම් පිළිබඳ ඇය විශේෂ දැනුමක් සහ පළපුරුද්දක් ලබා ඇති බව ද වාර්තා වේ.
එමෙන්ම, 2023 වසරේ සිට ඇය ආසියානු සංවර්ධන බැංකුවේ මොන්ගෝලියාවේ නේවාසික මෙහෙයුම සඳහා දේශීය අධ්‍යක්ෂවරිය ලෙස ද සේවය කර ඇත.
ආසියානු සංවර්ධන බැංකුවට එක්වීමට පෙර, ෂැනන් කව්ලින් මහත්මිය අමෙරිකාවේ ජාතික පුනර්ජනනීය බලශක්ති රසායනාගාරයේ කළමනාකාරිනියක් ලෙස කටයුතු කර ඇති අතර, එම කාලය තුළ අමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව සහ දකුණු ආසියානු කලාපය අතර බලශක්ති සහයෝගීතා වැඩසටහන් රැසක් මෙහෙයවා තිබේ.



