
මුහුදු ප්‍රදේශ කිහිපයකට කාලගුණයෙන් රතු නිවේදනයක්
මුහුදු ප්‍රදේශවලට රතු නිවේදනයක් නිකුත් කරමින් බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා විශේෂ අනතුරු ඇඟවීමක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබේ.
උතුරු ආන්ද්‍ර ප්‍රදේශයේ වෙරළට ඔබ්බෙන් පැවති ගැඹුරු පීඩන අවපාතය බටහිර – වයඹ දෙසට සෙමින් ගමන් කරමින් ඊයේ (23) කාලිංග පටනම්හි නිරිතදිග ප්‍රදේශයට ආසන්නයෙන් වෙරළ හරහා ගොඩබිමට ඇතුළු වී ඇත.
එය තවදුරටත් බටහිර – වයඹ දෙසට ගමන් කර ඇති අතර, අද (24) පෙරවරු 5.30 වන විට උතුරු ආන්ද්‍ර ප්‍රදේශයේ වෙරළබඩ කලාපය ආශ්‍රිතව, උතුරු අක්ෂාංශ 18.3° සහ නැගෙනහිර දේශාංශ 83.7° ආසන්නයේ කේන්ද්‍රගතව පවතී. එම ස්ථානය කන්කසන්තුරේ සිට කිලෝමීටර් 1,100ක් පමණ ඊසාන දෙසින් පිහිටා ඇත.
මේ හේතුවෙන් “Warning” කාණ්ඩය යටතේ දැක්වෙන මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි ඇතිවිය හැකි අතර, සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යා හැකිය. ඒ අනුව එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව දැනුම් දී තිබේ.
එමෙන්ම “Advisory” කාණ්ඩය යටතේ දැක්වෙන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 55ත් 65ත් අතර දක්වා ඉහළ යා හැකි අතර, එම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බව සඳහන් කර ඇත.
ඒ අනුව උතුරු අක්ෂාංශ 10°N ත් 22°N ත් අතර සහ නැගෙනහිර දේශාංශ 82°E ත් 90°E ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවුක කටයුතුවලින් වළකින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මේ වනවිට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතව සිටින යාත්‍රා ඇත්නම්, වහාම එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙසද වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.



