
රංගන ශිල්පිනී සචිනි අයේන්ද්‍රාට අයත් සමාගමකට අධිකරණයෙන් දඩ නියෝග
ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය ලබාගෙන ඇති බව ලෙස ලේබලයේ සඳහන් කරමින් “Hair Miracle” නම් හිසකෙස් ආලේපන වර්ගයක් අන්තර්ජාලය හරහා අලෙවි කළ බවට චෝදනා එල්ල වූ, ප්‍රසිද්ධ රංගන ශිල්පිනී සචිනි අයේන්ද්‍රාට අයත් සමාගමක් ඇතුළු සමාගම් දෙකකට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 20,000 බැගින් දඩ මුදල් නියම කර තිබේ.
මෙම හිසකෙස් ආලේපන වර්ගය මාර්ගගත ක්‍රමයෙන් අලෙවි කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි.
එහිදී අනාවරණය වී ඇත්තේ, අදාළ නිෂ්පාදනය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාගෙන නොමැති අතර, එවැනි අනුමැතිය ලබා ඇතැයි අසත්‍ය ලෙස ලේබලයේ සඳහන් කර තිබූ බවයි.
තවද, එම ආලේපනය නිෂ්පාදනය කළ සමාගමේ ලිපිනය හෝ දුරකථන අංකය ඇසුරුම්වල සඳහන් කර නොතිබූ බවද පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
ඒ අනුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම නිෂ්පාදනය වෙළෙඳපොළට නිකුත් කළ කොළඹ 08, කාසල් වීදියේ පිහිටි සමාගමට සහ එය නිෂ්පාදනය කළ වැලිවේරිය, කිරිකිත්ත ප්‍රදේශයේ පිහිටි සමාගමට එරෙහිව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබුණි.
අදාළ සමාගම් දෙකම අධිකරණය ඉදිරියේ වරද පිළිගෙන ඇති අතර, ඒ අනුව සමාගම් දෙකට රුපියල් 20,000 බැගින් දඩ මුදල් නියම කර ඇත.
එමෙන්ම, “ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය ලබා ඇත” යන අසත්‍ය සඳහන ආලේපනයේ ලේබලයෙන් ඉවත් කර, ඒ පිළිබඳව ජනවාරි 20 වැනිදාට පෙර නැවත අධිකරණයට වාර්තා කරන ලෙසද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් සචිනි අයේන්ද්‍රාට අයත් සමාගම විසින් නිවේදනයක්ද නිකුත් කර ඇත.
එම නිවේදනය පහතින් දැක්වේ.




