ගොසිප්

මියගිය දායක ගර්භාෂයකින් බ්‍රිතාන්‍යයේ පළමු දරු උපත

මියගිය දායකයෙකුගෙන් බද්ධ කළ ගර්භාෂයක් තුළින් බ්‍රිතාන්‍යයේ පළමු දරුවා උපත ලැබූ අසිරිමත් සිදුවීමක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හියුගෝ පවෙල් (Hugo Powell) නම් පිරිමි දරුවා පසුගිය දෙසැම්බර් මාසයේදී Queen Charlotte and Chelsea Hospital හි සිසේරියන් සැත්කමක් මඟින් මෙලොව එළිය දැක තිබේ. උපතේදී දරුවාගේ බර කිලෝග්‍රෑම් 3.1ක් ලෙස සටහන් වී ඇත.

දරුවාගේ මව වන 30 හැවිරිදි ග්‍රේස් බෙල් උපතින්ම ගර්භාෂය නොමැතිව උපන් අතර, ඇය Mayer-Rokitansky-Küster-Hauser syndrome (MRKH) නමැති දුර්ලභ රෝගී තත්ත්වයෙන් පෙළුණි. යොවුන් වියේදී තමන්ට ස්වභාවික ලෙස මවක් විය නොහැකි බව දැනගත් අවස්ථාව තම ජීවිතයේ වඩාත්ම වේදනාකාරී මොහොතක් වූ බව ඇය සඳහන් කර ඇත.

“මෙය සැබෑ ආශ්චර්යක්. මට මෙවැනි දිනක් ලැබේවි කියා කවදාවත් සිතා නැහැ. අද මගේ ජීවිතයේ සතුටුම දවස,” යැයි ඇය සංවේදීව පවසා තිබේ.

මෙම දරු උපත සඳහා අවශ්‍ය වූ ගර්භාෂය ලබා දී ඇත්තේ මියගිය තරුණියක විසිනි. ඇයගේ ගර්භාෂයට අමතරව තවත් අවයව 5ක් පුද්ගලයන් සිව්දෙනෙකුට බද්ධ කර ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට දායක වී ඇති බවද වාර්තා වේ.

මව් පදවිය ලැබීමට මූලික වූ එම නාඳුනන දායකයා සහ ඇයගේ පවුලේ අය පිළිබඳව ග්‍රේස් බෙල් මහත් ගෞරවයෙන් සිහිපත් කර ඇති අතර, “ඇයගේ පරිත්‍යාගය නිසා මට ජීවිත කාලයක් පුරා තිබූ සිහිනය සැබෑ කරගන්න ලැබුණා,” යැයි ඇය ප්‍රකාශ කර ඇත.

යුරෝපයේ මියගිය දායකයෙකුගෙන් ලබාගත් ගර්භාෂයකින් දරුවෙකු උපත ලැබූ තෙවන අවස්ථාව මෙය වන අතර, බ්‍රිතාන්‍යයේ එවැනි පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වේ.

මුලදී ‘Surrogacy’ ක්‍රමය සම්බන්ධයෙන් සිතා සිටි ග්‍රේස් බෙල්, පසුව බ්‍රිතාන්‍යයේ ගර්භාෂ බද්ධ කිරීමේ වැඩසටහනට එක්වෙමින් අවසානයේ තම සිහිනය සැබෑ කරගැනීමට සමත් වී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button