දිට්වා සුළිකුණාටුව හේතුවෙන් උද්ගත වූ අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ආර්ථිකය විනයගත ලෙස පවත්වාගෙන යාමට හැකි වී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
කෘත්‍රිම බුද්ධිය සහ ඩිජිටල් යුගය තුළ ආර්ථික වර්ධනය පිළිබඳව අද (06) කොළඹදී පැවැති සමුළුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
අතිරේක රාජ්‍ය වියදම්, රජයේ ණය ගැනීම් සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් විවිධ විවාද පැවතිය ද, පසුගිය වසර කිහිපය තුළ ලැබූ යහපත් ආදායම් සහ මූල්‍ය විනය හේතුවෙන් රජයේ බැංකු දෙකෙහිම රුපියල් ට්‍රිලියනයකට ආසන්න අතිරික්තයක් පවත්වා ගැනීමට හැකි වී ඇති බව මහ බැංකු අධිපතිවරයා පැවසීය.
ආර්ථික අර්බුදයට පෙර රජයේ බැංකුවල රුපියල් ට්‍රිලියනයක පමණ හිඟයක් පැවති බව සඳහන් කළ ඔහු, එය මේ වනවිට අතිරික්තයක් බවට පත්ව ඇති බවත්, එවැනි ආර්ථික පීඩනකාරී අවස්ථාවලදී එම මුදල් ප්‍රයෝජනවත් වූ බවත් කියා සිටියේය.
තවද, මෙම ඉතුරුම් හේතුවෙන් රජයට අමතර ණය ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නොවූ බවත්, මෙම වසර තුළ බිලියන 8ක ආරක්ෂිත සංචිතයක් ගොඩනැගීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
උද්ධමනය මේ වනවිට සියයට 2කට ආසන්න මට්ටමක පවතින බවත්, එය සියයට 5 ඉක්මවා නොයන ලෙස පාලනය කර පවත්වාගැනීම තම ප්‍රධාන ඉලක්කය බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,
”දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට කැපී පෙනෙන හානියක් සිදුව තිබෙනවා. නමුත් එම හානිය අපේක්ෂා කළ තරමට වඩා අවම අගයක්. ලෝක බැංකු වාර්තාවක් උපුටා දක්වමින් ජනාධිපතිවරයා පවා වරෙක පැවසුවා එම හානි තක්සේරුව අමෙරිකානු ඩොලර් බිලියන 4.1ක් කියලා. රජයට ඊට වඩා සියුම් තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව නැවත ගොඩනැගීමේ වියදම බොහෝදුරට අපේක්ෂා කළ අගයට වඩා අඩු වෙන්න පුළුවන්. දිට්වා හි බලපෑමෙන් ආර්ථික වර්ධන වේගය පහත වැටෙන්න පුළුවන්. එම සංඛ්‍යාලේඛන නුදුරේදි ලැබෙයි. ලබන වසරේ සිට අපේක්ෂිත ලෙස 5%ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගන්න හැකිවෙයි…
2028දී නැවත ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යාමට හෝ කඩාවැටීමක් සිදුවෙයි කියලා කියනවා. රජයට සේවා වියදම් ගෙවීමටත් නොහැකි වෙයි කියනවා. මම ඒක පැහැදිලි කරන්නම්. අපිට ණය ප්රතිව්යුහගතකිරීමකට යන්න වුණේ අපි ඉතිහාසයේ කවදාවත් ඩොලරයක් වත් ණය නොගෙවා ඉඳලා නැති නිසා.2025 වසරේදි අපේ සංචිත භාවිත කරලා අපි ඩොලර් මිලියන 3,934 ගෙවා අවසන් කළා. මේ වගේ වැඩකට නැති කතා නිසා සිදුවන්නේ ආයෝජකයින්ගේ මනසේ රට ගැන අනවශ්‍ය සැකයක් ඇතිකරන එක. තවත් පිරිසක් කියනවා දිට්වා හානිය නිසා අපි ණය ගෙවන එක නවත්වන්න ඕන කියලා. මේ වගේ දේවල් ගැන තර්ක කරන්නේ ආර්ථිකය යළි කඩාවැටෙනවට කැමති අය වෙන්න ඕන. රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා. ආර්ථික දර්ශක අර්බුදයට පෙර පැවතියාට වඩා හොඳ තත්ත්වයකට පත්වෙලා තියෙනවා. අපේ ගිණුම්වල මුදල් තිබියදී හරියට ස්වෙච්ඡාවෙන්ම ණය පැහැරහරින්නෙක් වගේ අපි ගිහින් කියනවා නම් අපි නම් ණය වාරික ගෙවන්නේ නැහැ කියලා, එවන් රටවල කවුරුත් නැවතත් ණය ලබාදෙන්නේ නැහැ. සමහරු කියන්නේ නිසි දැනුමක් නැතිව, සමහරු මේවා කියන්නේ ආර්ථිකය කඩා වැටෙයි කියලා බලාගෙන. මම හේතුව දන්නේ නැහැ.”