විදෙස්

චීනයේ කුන්මිං නගරයේ දකුණු ආසියානු සංස්කෘතික-වෙළඳ ප්‍රදර්ශනය 10 වන වරටත් ආරම්භ වේ

නිරිතදිග චීනයේ යුන්නාන් පළාතේ අගනුවර වන කුන්මිං නගරයේදී 10 වන වරටත් චීන–දකුණු ආසියානු ප්‍රදර්ශනය ආරම්භ වී ඇත. දින හයක් පුරා පැවැත්වෙන මෙම උත්සවයේ මෙවර ප්‍රධාන තේමා රට ලෙස බංග්ලාදේශය සහභාගී වන අතර රටවල්, කලාප හා ජාත්‍යන්තර සංවිධාන 68 ක නියෝජිතයින්ද එක්ව සිටී.

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල සමාගම් 560කට වැඩි සංඛ්‍යාවක් මෙයට සහභාගී වන අතර ජර්මනිය, බ්‍රසීලය සහ ඊජිප්තුව ඇතුළු රටවල් 45ක ගැනුම්කරුවන්ද එක්ව ඇත. මෙවර විදේශීය ගැනුම්කරුවන්ගේ සහභාගීත්වය 60% ඉක්මවා ඇති බවද වාර්තා වේ.

හස්තකර්මාන්ත නිර්මාණ, ආහාර ද්‍රව්‍ය, ගෘහ අලංකරණ භාණ්ඩ ඇතුළු විවිධ නිෂ්පාදන රැසක් ප්‍රදර්ශනය කරමින් කලාපයේ සංස්කෘතික හා වාණිජ විවිධත්වය ඉස්මතු කිරීම මෙහි විශේෂත්වයකි. “පොදු සංවර්ධනය සඳහා සහයෝගීතාව සහ සම්බන්ධීකරණය” යන තේමාව යටතේ කලාපීය වෙළඳ සහ කාර්මික සම්බන්ධතා ශක්තිමත් කිරීම මෙවර ප්‍රධාන අවධානය වේ.

අතීතයේ පැවති ප්‍රදර්ශන නවයෙන් ව්‍යාපෘති 3,000කට අධික ගිවිසුම් අත්සන් කර ඇති අතර ඇමරිකානු ඩොලර් බිලියන 100කට වැඩි වෙළඳ හුවමාරුවක් සඳහා එය දායක වී ඇත. මේ වන විට චීනය පාකිස්ථානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ ප්‍රධානතම වෙළඳ හවුල්කරුවා බවට පත්ව ඇති අතර 2025 වන විට ද්විපාර්ශ්වික වෙළඳ පරිමාව ඩොලර් බිලියන 200 ඉක්මවා ඇති බවද සඳහන් වේ.

හරිත සංවර්ධනය, නවීන කෘෂිකර්මය, උසස් නිෂ්පාදන සහ සේවා වෙළඳාම වැනි ක්ෂේත්‍ර ආවරණය කරමින් ශාලා 10කට අධික ප්‍රමාණයක ප්‍රදර්ශන පැවැත්වෙන මෙම උත්සවය කලාපීය ආර්ථික සහයෝගීතාවය ගැඹුරු කිරීමට චීනය දරන උත්සාහයන්ගේ ප්‍රධාන වේදිකාවක් ලෙස සැලකේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button