විදෙස්

අමෙරිකාවට අභියෝග කරන ඉරානයේ මොහොමඩ් බාගර් ගලීබාෆ් කවුද?

අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව යුද්ධ ක්‍රියාමාර්ග ආරම්භ කිරීමෙන් පසු, එයට ප්‍රසිද්ධියේ අභියෝග කරමින් ඉදිරියට පැමිණි ප්‍රමුඛ පුද්ගලයෙකු ලෙස 64 හැවිරිදි මොහොමඩ් බාගර් ගලීබාෆ් හඳුනාගත හැක.

ඉරානයේ දැඩි මතධාරී දේශපාලන ප්‍රවණතාවයක් නියෝජනය කරන ඔහු, හමුදා, ආරක්ෂක සහ සිවිල් පාලන ක්ෂේත්‍ර තුනම ආවරණය කරමින් උසස් තනතුරු රැසක් දරා ඇති බලවත් චරිතයකි.

පාකිස්තානයේ පැවති අමෙරිකා–ඉරාන සාම සාකච්ඡාවලදී ද ඉරාන නියෝජිත කණ්ඩායමට නායකත්වය දුන් ගලීබාෆ්, එම සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු අමෙරිකාව ඉරාන පාර්ශ්වයේ විශ්වාසය දිනාගැනීමට අසමත් වූ බව ප්‍රකාශ කළේය.

හමුදා පසුබිමක් සහිත ගතානුගතික දේශපාලනඥයෙකු වන ඔහු, 2020 මැයි මාසයේ සිට ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස කටයුතු කරමින් සිටී.

1961 දී උපත ලැබූ ගලීබාෆ්, 1980 දී ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට (IRGC) එක්වී ඉරාන–ඉරාක යුද්ධයේදී අණදෙන නිලධාරියෙකු ලෙස සේවය කර ඇත.

එමෙන්ම, ටෙහෙරානයේ දිගුකාලීන නගරාධිපතිවරයා ලෙස 2005 සිට වසර 12ක් සේවය කළ ඔහු, නගරයේ යටිතල පහසුකම් සංවර්ධනයට දායක වූවෙකු ලෙස සැලකේ. කෙසේ වෙතත්, මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනාද ඔහු වෙත එල්ල වී ඇත.

ඔහු සිව් වතාවක් ඉරාන ජනාධිපති ධුරය සඳහා තරග කළද, එම සියලු අවස්ථාවලදී ජයගැනීමට නොහැකි වී තිබේ.

පෙබරවාරි 28 දින අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහි යුද්ධ ක්‍රියාමාර්ග ආරම්භ කිරීමෙන් පසු, රට තුළ අන්තර්ජාල සම්බන්ධතා සීමා කළද, ගලීබාෆ්ගේ ‘X’ ගිණුම සක්‍රීයව පැවතීම විශේෂත්වයකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button