ප්‍රධාන පුවත්

කාත්තන්කුඩි ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කෙරේ

කාත්තන්කුඩි ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය ජනතා භාවිතය සඳහා විවෘත කිරීමේ නිල උත්සවය කාත්තන්කුඩි නගර සභා පරිශ්‍රයේදී පැවැත්වුණි.

කාත්තන්කුඩි ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය Clean Sri Lanka වැඩසටහන යටතේ විවෘත කෙරේ. ප්‍රතිචක්‍රීකරණය සහ අපද්‍රව්‍ය කළමනාකරණයට නව පහසුකම්.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන Clean Sri Lanka ජාතික වැඩසටහනේ තවත් වැදගත් ව්‍යාපෘතියක් ලෙස මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබේ.

සමාජීය, පාරිසරික සහ ආචාරධර්මීය වශයෙන් පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම ජාතික වැඩසටහන යටතේ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ මඟපෙන්වීම මත තෝරාගත් පළාත් පාලන ආයතනවල මෙවැනි මධ්‍යස්ථාන ඉදිකිරීම සිදුකෙරේ.

එම වැඩපිළිවෙළ යටතේ කාත්තන්කුඩි නගර සභාව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.

පරිසරයට අවිධිමත් ලෙස බැහැර කෙරෙන ඉවතලන නොදිරන අපද්‍රව්‍ය නිසි ක්‍රමවේදයකට අනුව කළමනාකරණය කිරීම මෙම මධ්‍යස්ථානය පිහිටුවීමේ ප්‍රධාන අරමුණයි.

මේ හරහා ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම, පරිසර දූෂණය අවම කිරීම, කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නැවත ලබාගැනීම සහ නව රැකියා අවස්ථා ඇති කිරීම අපේක්ෂා කෙරේ.

එමෙන්ම ගෝලීය තිරසර සංවර්ධන ඉලක්කවලට අනුකූලව චක්‍රීය ආර්ථිකයක් ගොඩනැගීමට ද මෙම වැඩසටහන දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අපද්‍රව්‍ය කළමනාකරණයේදී අඩු කිරීම (Reduce), නැවත භාවිත කිරීම (Reuse) සහ ප්‍රතිචක්‍රීකරණය (Recycle) යන 3R සංකල්පය ජනතාව අතර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා දැනුවත් කිරීමද මෙහි තවත් අරමුණකි.

ඒ අනුව නිවෙස්වලින් නිසි පරිදි වෙන්කර ලබාදෙන ප්ලාස්ටික්, පොලිතින් සහ වීදුරු ඇතුළු ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය එකතු කිරීම, වෙන් කිරීම සහ විධිමත්ව කළමනාකරණය කිරීම සඳහා මෙම මධ්‍යස්ථානයෙන් පහසුකම් සැලසෙනු ඇත.

ප්‍රදේශවාසීන්ගේ සක්‍රීය දායකත්වයෙන් පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නිර්මාණය කිරීම මෙන්ම පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමද මෙම ව්‍යාපෘතියේ අරමුණු අතරට අයත් වේ.

කාත්තන්කුඩි ප්‍රදේශය තුළ තිරසර අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයක් ස්ථාපිත කරමින් පිරිසිදු නගර පරිසරයක් සහ වගකීම්සහගත පුරවැසි සමාජයක් ගොඩනැගීමට මෙම මධ්‍යස්ථානය වැදගත් දායකත්වයක් ලබාදෙනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button