ක්‍රීඩා

රුමේෂ් තරංග සූරිච් ඩයමන්ඩ් ලීග් අදියරත් ජයගනී

මීටර් 92.07ක දක්ෂතාවයෙන් සූරිච් අදියරේ පළමු තැන — මේ වසරේ තරග 12කින් 11ක ජය

ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ ස්විට්සර්ලන්තයේ පැවති සූරිච් අදියරේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානය දිනාගැනීමට අද (28) අලුයම සමත්විය.

මෙරට වේලාවෙන් අද අලුයම අවසන් වූ තරගයේදී රුමේෂ් මීටර් 92.07ක දුරක් වාර්තා කළේය. ඔහුගේ වෘත්තීය ක්‍රීඩා දිවියේ මීටර් 92 සීමාව ඉක්මවා ගිය දෙවන අවස්ථාව මෙය ලෙස සටහන් වේ.

රුමේෂ් තරංග මෙම වසරේ ජුනි මාසයේ පැවති රෝම ඩයමන්ඩ් ලීග් අදියරේදී මීටර් 92.62ක දුරක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ජාතික වාර්තාව අලුත් කිරීමටද සමත් විය.

වර්තමාන ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ සිටින 23 හැවිරිදි රුමේෂ්, මෑතකදී අවසන් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 89.75ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කමද දිනාගත්තේය.

සූරිච් අදියරේ දෙවන ස්ථානය ග්‍රෙනාඩාවේ හිටපු ලෝක ශූර ඇන්ඩර්සන් පීටර්ස්ට හිමි වූ අතර ඔහු මීටර් 86.93ක දුරක් වාර්තා කළේය. පෝලන්තයේ ඩේවිඩ් වෙග්නර් මීටර් 85.16ක පෞද්ගලික හොඳම දක්ෂතාවක් සමඟ තෙවන ස්ථානයට පත්විය.

2012 ලන්ඩන් ඔලිම්පික් ශූර ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ හි කෙෂෝන් වෝල්කොට් මීටර් 83.02ක් දුරක් වාර්තා කරමින් සිව්වන ස්ථානයට පත්වූ අතර, කෙන්යාවේ ජූලියස් යෙගෝ මීටර් 81.66ක දුරක් සමඟ පස්වන ස්ථානය හිමිකර ගත්තේය. ඉන්දියාවේ නීරාජ් චොප්රා මෙම අදියරට සහභාගී නොවීය.

රුමේෂ් තරංග මෙම ජයග්‍රහණයත් සමඟ මේ වසරේ

අඛණ්ඩව පවත්වාගෙන එන විශිෂ්ට දක්ෂතා තවදුරටත් තහවුරු කර තිබේ. ඔහු මේ වසරේ සහභාගී වූ තරග 12කින් 11කම ජය හිමිකරගෙන ඇති අතර, එයට අඛණ්ඩ ජයග්‍රහණ 6ක්ද ඇතුළත්ය.

එමෙන්ම රෝම, ඔස්ට්‍රාවා සහ දෝහා ඩයමන්ඩ් ලීග් අදියරයන්හි ජයග්‍රහණද රුමේෂ් මේ වසරේදී වාර්තා කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button