ව්‍යාපාරික

ඔන්ලයින් ව්‍යාපාර නියාමනයට රජයේ අවධානය

මාර්ගගත වේදිකා ඔස්සේ ක්‍රියාත්මක වන ව්‍යාපාර සඳහා නිසි නියාමන ක්‍රමවේදයක් හඳුන්වාදිය යුතු බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා සිල්ලර වෙළෙඳුන්ගේ සංගමයේ 09 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, අන්තර්ජාලය හරහා සිදුකරන ඇතැම් ව්‍යාපාර නිසි ලෙස ලියාපදිංචි නොවීම සහ බදු ගෙවීම්වලින් බැහැරව කටයුතු කිරීම හේතුවෙන් නීත්‍යානුකූල ව්‍යාපාරිකයන්ට අසාධාරණ තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

එමෙන්ම, පසුගිය කාලය තුළ මෙවැනි නියාමනයෙන් තොර ක්‍රම හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 780කට ආසන්න මුදලක් රටින් පිටවී ඇති බව නිරීක්ෂණය වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

රට තුළ ලියාපදිංචි ව්‍යාපාර සංඛ්‍යාව 65,000ක් පමණ වන බව සැලකිය හැකි නමුත්, විශාල සමාගම්වල නියෝජිතයන් සහ බෙදාහරින්නන්ගේ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ග්‍රාමීය මට්ටමේ කුඩා සිල්ලර වෙළෙඳසල්වල සිට ජාතික මට්ටමේ B2C ව්‍යාපාර දක්වා විශාල පිරිසක් තවමත් නිසි ලියාපදිංචි ක්‍රියාවලියට ඇතුළත් වී නොමැති බවද ඔහු සඳහන් කළේය.

තවද, සිල්ලර වෙළෙඳ අංශය රටේ ආර්ථිකයට ප්‍රධාන දායකත්වයක් සපයන ක්ෂේත්‍රයක් බවත්, එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන අතර මිලියන දෙකකට ආසන්න පිරිසකට රැකියා අවස්ථා සලසා දී ඇති බවත් වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button