ව්‍යාපාරික

ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළට

2026 වසරේ මුල් මාස හතර තුළ ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයෙන් ලැබූ අපනයන ආදායම පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවෙන් අනාවරණය වී තිබේ.

වාර්තාවට අනුව, මෙම වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,624.7ක් ලෙස වාර්තා වී ඇති අතර, පසුගිය වසරේ එම කාලසීමාවේදී එය ඩොලර් මිලියන 1,751.8ක් ලෙස සටහන් විය.

ඒ අනුව, මෙම අංශයේ අපනයන ආදායම සියයට 7.3කින් අඩු වී ඇති බව වාර්තාව පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, 2026 වසරේ මුල් මාස හතර තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඩොලර් මිලියන 4,534.9ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, 2025 වසරේ එම අගය ඩොලර් මිලියන 4,315.6ක් විය.

මේ අතර, ආනයන වියදම වඩාත් වේගයෙන් ඉහළ ගොස් ඇති බව ද වාර්තාව සඳහන් කරයි. 2025 වසරේ මුල් මාස හතරේ ඩොලර් මිලියන 6,572.9ක් වූ ආනයන වියදම, 2026 වසරේදී ඩොලර් මිලියන 8,227.9ක් දක්වා වැඩි වී ඇත.

එය සියයට 25.2ක වර්ධනයක් වන අතර, පාරිභෝගික භාණ්ඩ ආනයනය සියයට 32.8කින්, අතරමැදි භාණ්ඩ ආනයනය සියයට 24.1කින් සහ ආයෝජන භාණ්ඩ ආනයනය සියයට 19.8කින් ඉහළ ගොස් තිබේ.

අපනයන ආදායමට සාපේක්ෂව ආනයන වියදම වැඩි වීමේ ප්‍රතිඵලයක් ලෙස 2026 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලයේ මෙරට වෙළෙඳ හිඟය අමෙරිකානු ඩොලර් මිලියන 3,693 දක්වා පුළුල් වී ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button